Tt

Editor

hboi

Advertisements

අනුන්ගෙන් නොයැපිම

අජාන් සුමේධො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

මනස අවුල් කරන හැඟීම් එක්ක ඒ කාලෙ මගේ තිබුණෙ බලවත් පිළිකුලක්. ඒ වෙනුවට නිරවුල් මනසකට, විශ්වාසනීය මනසකට මම ඇලුම් කළා. කිසියම් හේතුවක් නිසා මගේ මනස අවුල් වුනාම ඒ අවුල් සහගත තත්වය නිසා ඇතිවන නොයෙකුත් මනෝභාවයන් තුරන් කර ගන්න උදව්වෙන, මොනයම් ආකාරයක හෝ පැහැදිලි පිළිතුරක් සොයාගන්න, මම හැමවිටම වෑයම කළා. ඒව මගහැරල, මනසට වෙන දේක පැටලෙන්න ඉඩ දෙන්න හරි, තව කෙනෙකුට කියල ඒවට හොඳ පිළීතුරක් ලබා ගන්න හරි මම මහන්සි ගත්ත. දැන උගත් අයගෙන්, ලොක්කන්ගෙන්, ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් මම බලාපොරොත්තු වුනා “ඒක හරි, ඒක වැරදියි, ඒක හොඳයි, ඒක නරකයි” කියල මං ලඟට ඇවිත් පෙන්නල දෙයි කියල. මට හැදෙන්න වුවමනාව තිබුණ. ඒ නිසා මට අවශ්‍ය කර තිබුණ, මට විශ්වාස කරන්න පුළුවන්, මම ගරු කරන, යම්කිසි ගරුසර ඇත්තෙක් ලව්ව මාව යහ මඟට යොමු කරවා ගන්න.

බොහොම වෙලාවට අපි හිතනව හොඳ ගුරුවරු, භාවනා වැඩසටහන්, සිල්පද, තුන් සරණය හෝ මහා සංඝරත්නය අපේ ප්‍රශ්න ඔක්කොම විසඳල දීල, අපි සතුටට, සැනසීමට පත් කරයි කියල. අපි පිටතට අත පාගෙන ඉන්නව මේ දේ හෝ අර දේ හෝ අපට වුවමනා කරන දේ හෝ ඉටු කර දේය කියන බලාපොරොත්තුවෙන්. මේක හරියට දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනව වගේ, ඇවිත් අපිව මේ කරදර වලින් මුදවා ගනී කියල. නමුත් දෙවියො ඇවිත් අපේ මේ ප්‍රශ්න ටික විසඳා නොදුන්නාම, ඊලඟට අපි තවදුරටත් දෙවියො විශ්වාස කරන එක අත්හැරල දානව. “මම දෙවියන්ගෙන් ඉල්ලා හිටිය මට උදව් කරන්න කියල, කෝ නැහැනෙ පැත්තවත් බැලුවෙ”. වැඩිහිටි අපිත් ජීවිතය දිහා බලන්නෙ පොඩි ළමයින් වගේමයි. අපි නොයෙකුත් ප්‍රශ්න පටලවාගෙන ඉන්පස්සෙ බලාපොරොත්තු වෙනව, අම්මි හරි තාත්ති හරි ඇවිත් අපි හැඩි කර ගත්තු දේවල් සුද්ද කර දේවිය කියල. අනේ පව්!

අපිත් එක්ක හිටිය එක අමෙරිකානු මෙහෙණියක් අපෙන් අයින් වෙලා, මූලධර්මවාදි ක්‍රිස්තියානි කල්ලියකට එකතු වුන බව දැනගත්තාම, අවුරුදු ගණනාවකට ඉස්සර, වරක්, මම හොඳටම හිත නරක් කර ගත්ත. ඇත්තටම, මම ඒ දවස්වල වෙනත් සිල්මෑණි කෙනෙකුට ඇගේ ගුණ වර්ණනා කරමින් හිටියෙ. “ඇය හරිම හොඳ කෙනෙක්, ඇයට හොඳට දැනුම තේරුම තියෙනව, ඇගේ හදවත හරිම පිරිසිදුයි, ඔබේ මහණ ජීවිතයේදි ඇය ඔබට ආදර්ශයට ගත හැකි හොඳ සිල්මෑණි කෙනෙක් වේවි.” නමුත් ඇය අපෙන් වෙන්වුන ආරංචිය දැන ගත්තාම මට කර කියා ගන්න දෙයක් නැති වුනා. ඇත්තටම මම ලැජ්ජාවට පත්වුනා. “ඇය කොහොමද මේ වගේ දෙයක් කළේ?” කියල මම හිතහිත ඉන්න පටන් ගත්ත. “කොහොමද ඇය මේ වගේ තත්වයකට පත්වුනේ?” කියල, බැරිම තැන, මම මේ ගැන මගේ අජාන් චා ගුරු ස්වාමීන් වහන්සේගෙන් ඇහැව්ව. උන්වහන්සේ මා දිහා බලල, අමුතු විධියෙ දඟකාර හිනාවකුත් එක්ක මට කිව්ව, “සමහර විට එයා හරි ඇති කියල.”

උන්වහන්සේ මට පෙන්නල දුන්න, මම මේ කරන දේ ඉඳගෙන: ‘මගේ තත්වය ආරක්ෂා කර ගන්න, අනුන් අවිශ්වාස කිරීමේ හැඟීම් වලින් බරවෙලා, පැහැදිලි උත්තරයක් බලාපොරොත්තුවෙන්, හිත හදා ගැනීමට වුවමනාවෙන්, ඇය බුද්ධාගම පාවදුන් බවට උන්වහන්සේගේත් අනුමතිය අපේක්ෂාවෙන්,’ මම හැසිරෙන ආකාරය ගැන. මම මෙතැන ඇති පැටලීම දිහා ඇස් ඇරල බලන්න පටන් ගත්තෙ එතකොටයි. මම ඒ සිදුවුන දේ සම්පූර්ණයෙන්ම පිළිගන්න, එයට ඒ විදියට පවතින්න ඉඩදෙන්න පටන් ගත්තාම, මගේ හිතේ තිබුණ තද ගතිය පහව ගියා. ඒ මානසික පැටලීම, ඒ ආකාරයෙන්ම පිළිගැනීම තුළින් එය මට තවදුරටත් ප්‍රශ්නයක් වුනේ නැහැ. එහි බලපෑම ටිකින්ටික මතකයෙන් මැකී ගියා. මනසෙ මතුවුන ඒ අවුල් සහගත ස්වභාවය අත් නොවිඳ ඉන්න, මා දැරූ උත්සාහය මට එයින් පෙනී ගියා.

භාවනාවෙදිත් අපට මේ වගේ ගැටළු සහගත අවස්ථා වලට මුහූණ දෙන්න සිද්ධ වෙනව. ඊලඟට මොකද කළ යුතු කියල හිතා ගන්න බැරි අවස්ථා එමටයි. පුහුණුවීම ගැන, අපි ගැන, ජීවිතය ගැන, පැටලිලි සහගත හැඟීම් මතුවන අවස්ථා, ඉන් සමහරක්. අපි පුහුණු වෙන්නෙ, මේ මානසික තත්වයන් තල්ලු කර දාන්න නෙවෙයි. ඒ තත්වයන් මතුවුනාම ඒවා දැනෙන, හැ‍ඟෙන ආකාරයෙන්ම පිළිගැනීමටයි. අපි නිතරම වගේ අත්විඳින; අවිනිශ්චිත කම, අනාරක්ෂිත භාවය, ශෝකය, සංවේගය මේවායින් සමහරක්. ඒ වගේම මනසෙ අප්‍රාණික කම (විෂාදය), කනස්සල්ල, සාංකාව, බිය, තමන්ව නොරිස්සීම, දෝෂදර්ශී බව, පසුතැවීමත් ඒ ගොඩටම එකතු කරන්න පුළුවන්. අපි බොහොම වෙලාවට උත්සාහයක් ගන්නව, අපි නිරෝගීව සාමාන්‍ය විධියට ඉන්නව නම් ඔය කියන මනසික තත්වයන් එකක්වත් ඇති වෙන්නෙ නැහැ කියල, විශ්වාසයක් ඇති කරගන්න. නමුත් මේ මනස ඇති කර ගන්න, ‘මම ඔහේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට ඉන්නව’ කියන අදහස, මනඃකල්පිතයක්. ඔය කියන විධියෙ සාමාන්‍ය මනුස්සයෙක් ඇත්තටම ඔබට හමුවෙලා තියෙනවද? මට නම් නැහැ.

බුදුරජාණන් වහන්සේ අනුමත කර තියෙන්නෙ, ඒ වෙනුවට මේ මොහොතෙ මෙතැන අවධානයෙන් යුතු, අවදිමත්,ඇහුම්කන්දෙන, සිහිකල්පනාවෙන් යුතු වූවෙකු වීමටයි. තමා ගැනත්, මේ මොහොත ගැනත්, විශ්වාසයක් ඇති, විවෘත, පිළිගැනීමට සූදානම් මනසක් ඇත්තෙකු වෙන්නයි. එයයි අපට උන්වහන්සේගෙන් ලැබෙන දිරි ගැන්වීම. භාවනාවෙදි අපි ඇති කර ගත යුතුව ඇත්තේ, දේවල් තල්ලු කර දැමීමෙහි යෙදී ඉන්න අයෙකුගෙ ආකල්පය නෙවෙයි. අපේ කෙලෙස්, අපේ වැරදි, දුරින්දුරු කර දැමීමෙන් මීට වඩා හොඳ කෙනෙකු වීමටවත් නෙවෙයි. අපේ ආකල්පය විය යුත්තේ ඇස් ඇරීමට, විවෘත වීමට, ජීවිතය ගැන විමසිලිමත් වීමට, මෙතැන මේ මොහොත අත් විඳීමට, ජීවිත අත්දැකීම් ඒ දිගහැරෙන ආකාරයෙන්ම විශ්වාසයක් ඇතිව පිළිගැනීමට, හැකියාවක් ඇති කර ගැනීමටයි. ඒ සඳහා අපි ඔය හිතන විධියේ කිසිවක් කළ යුතු නැහැ. ජීවිතයේ ඇඹරුණු කොටස් දිග හරින්න වුවමනා නැහැ. ඒ සමඟ මතුවන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න අවශ්‍ය කරන්නෙත් නැහැ. සෑම දෙයක්ම සාධාරණීය කරනය කරන්න වුවමනාත් නැහැ. සෑම දෙයක්ම තියෙනවට වඩා හොඳ කරන්න යන්නත් එපා.

හොඳට බලන්න! හේතුප්‍රත්‍යයන් මත රැඳී පවතින මේ ලෝකයේ හැම වෙලාවෙම වැරදි තියෙයි. ඒක නතර කරන්න බැහැ. මාත් එක්ක, මා එක්ක ඉන්න අයත් එක්ක එකට ජීවත් වෙන කොට, මේ ආරණ්‍යයේ, මේ භාවනා මුළුවෙ, ගෙදර, කාර්යාලයේ, මේ රටේ ඕන තරම් වැරදි සොයා ගන්න පුළුවන්. හේතූන්, වාතාවරණ හැම වෙලාවෙම වෙනස් වෙන නිසා කිසි දිනෙක, කිසි තැනෙක ස්ථිර, සර්වසම්පූර්ණ බවක් සොයා ගන්න ලැබෙන්නෙ නැහැ. අපිට ඕනෑ කරන විධියට සෑම දෙයක්ම හොඳින් සිද්ධ වෙන කොට, අග්‍රගණයෙ මොහොතක් අපිට අත්විඳින්න ලැබුණත්, ඒ මොහොත ඒ ආකාරයෙන්ම පවතින වතාවරණයක් අපිට දිගටම පවත්වා ගෙන ගිය හැකිද? හුස්ම ඉහළට ගැනීමේ ඉහළම තැන අපට ජීවත් විය හැකිද? අපි හුස්ම පහළට හෙළිය යුතුයි. තැන මාරුවෙනව. ඉහළ – පහළ.

ප්‍රීතිමත් වකවානු, ආදරයෙන් පිරි සම්බන්ධතා, ජයග්‍රහණ, වාසනාවන්ත සිදුවීම් ආදී ජීවිතයේ හොඳයි කියල අපි සලකන සෑම දෙයකටමත් මේ නීතිය බලපානවා. මේව ඇත්තෙන්ම අපිට සතුටු විය හැකි ප්‍රීතිමත් අවස්ථා. ඒව ගැන අහිතක් ඇති කර ගන්න එපා. නමුත් වෙනස් වීමේ ස්වභාවය උරුම කොට ගත් එම දේවල් මත, අපේ විශ්වාසය ගොඩනගා ගත යුතු නැහැ. ඒවා ලබා දෙන රසයෙ මුදුණටම, ඉහළටම ආවට පස්සෙ, ඒවට යන්න තියෙන්නෙ එකම එක පැත්තකට විතරයි – පහළට. අපි පුරුදු වෙලා තියෙන්නෙ අපේ වත්කම, අනෙක් පුද්ගලයින්, වෙනත් රටවල්, සම්බන්ධතා, ලස්සන ගෙවල්, හොඳ භාවනා මුළු පවත්වන තැන්, අපේ සරණ ලෙස සලකන්නයි. ඒ වෙනුවට අපි සරණ ලෙස ගත යුත්තේ අවදිමත්ව සිටීමට, මේ මොහොතෙ වතාවරණය සිදුවන දේ මොකක් වුනත් ජීවිතය ගැන විමසිල්ලෙන් සිටීමට, අපට ඇති හැකියාවයි. මතුවී ඇති, අත්විඳින, සිතිවිලි මනෝභාවයන් එක්ක පොර බැඳීම නතර කරන්න උදව් වෙන්නෙ, ඇලීමේ බලවේගය එක්ක ඇදී යා නොදී අපට නතර වීමට නිදහස ලබා දෙන්නෙ, හේතුප්‍රත්‍යයන් වෙනස් වෙද්දිත්, ඇති දේ ඇති හැටියෙන් පිළිගැනීමට අපට ඇති කැමැත්තයි.

නරක සිතිවිලි, අයහපත් මානසික තත්වයන් නිසා විඳින වේදනා අකාමකා දාන්න යාම, ඒවාට විරෝධය දක්වන්නට යාම, මොනතරම් වෙහෙසක් ඇති කරනවාද කියල හොඳට බලන්න. විරෝධය දැක්වීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? මගේ මනසෙ මතුවෙලා තියෙන මම අකමැති දෙයක් තල්ලු කරල දාන්න හැදුවොත් මනස ඒක අත්හරින්නෙම නැහැ, තදින් අල්ල ගන්නවා. ඔබටත් එහෙමද? ඔබට පේන්නම බැරි කෙනෙක්, ඇත්තටම තදින්ම ඔබේ හිත රිදවපු කෙනෙක් ගැන හිතන්න. ඒ හොඳටම ඇති, තරහ මතුවීමට, පිළිකුල ඇති වීමට, ඒ පුද්ගලය පිළිබඳ කෘර අදහස් වලින් මුළු හිතම වැහිල යන්න. තල්ලු කරකර, තල්ලු කරකර, අපි ඒක විශාල දෙයක් කර ගන්නවා. තල්ලු කරන්න, තල්ලු කරන්න, දැඩිව අල්ලා ගැනීම තවත් දැඩි වෙනවා.

භාවනාවෙදි ඔබ මේක කරල බලන්න. ඔබට බය හිතෙන, පිළිකුල් කරන, වුවමනා නැති, අකමැති දෙයක් දිහා හොඳින් බලන්න. ඔබ ඒවට විරුද්ධතාවය පෙන්නන කොට, ඔබ ඒවයෙ බලය වැඩි කරනවා. සිහිකල්පනාවෙන් යුතු ඔබේ ජීවිත අත්විඳීම මත, එය ඇති කරන බලපෑම ඉතා බලගතුයි. එය ඔබ වසඟයට ගන්නවා. නමුත් ඔබේ පැවැත්මේ, ඔබ ඉදිරියට එන හොඳ, නරක දෙවර්ගයම විවෘත මනසකින් ඔබ පිළිගන්නව නම් මොකද වෙන්නෙ? හේතුප්‍රත්‍යයන් මත ඇතිවෙන අත්විඳීම, සතුටු සිතින් පිළිගැනීමට පටන් ගත්තාම, දේවල් මා වෙතින් ගිලිහී යාමට පටන් ගන්න බව, මම මගේ අත්දැකීමෙන් තේරුම් අරගෙන තියෙනවා, ඒව ඇතුළට එනවා, ඊලඟට එලියට යනවා. අපි ඇත්තටම කරන්නෙ දොර විවෘත කිරීම; ඕනෑම දේකට, බය, සාංකාව, පසුතැවීම, ශෝකය, තරහ, කනස්සල්ල, අපි ඒවට ඇතුළට එන්න ඉඩ දෙනවා. එයින් අදහස් කරන්නෙ නැහැ, ඒ සිදුවන දේවලට අපි කැමතියි, එහෙම තමයි ඒව සිද්ධ වෙන්න ඕනෙ කියන එක නෙවෙයි.

සදාචාරාත්මක විනිශ්චය කිරීමක් ගැන නෙවෙයි, අපි මෙතැනදි මේ කථා කරන්නෙ. අපි, මෙතැන ඇති දේ මොනව වුනත්, අපේ ඒ අත්දැකීම, සතුටු සිතකින් පිළිගන්න ආකාරය ගැනයි. විරෝධය පාමින් අපි ඒක ඉවත් කරන්න හදන්නවත්, මම මගේ කියන හැඟීමකින් ඒක බදා ගන්නවත් යන්නෙ නැහැ. මේ මොහොතෙ, ඒ පවතින ආකාරයෙන්ම යමක් අපිට පිළිගන්න පුළුවන් නම් එය හට ගැනීමට තුඩු දුන් හේතූන් නැතිවී යන බව අපට පෙනෙන්න පටන් ගන්නවා.

දුක්ඛයෙන් නිදහස් වීමෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කර සිටියේ දුක, පීඩනය නැත්තටම නැතිවීමක් ගැන නෙවෙයි. ඒ වෙනුවට තීරණය තමන්ටම තෝරා ගැනීමට ඉඩදීමක්. එක්කො මට පුළුවනි, මා වෙත පැමිණෙන දුක්කරදර එක්ක පැටලෙන්න, ඇලෙන්න, දුකෙන් වෙලී ගන්න. එහෙම නැත්නම් මට පුළුවනි, එය බාරගන්න. මම මුහුණදී ඇති අවාසනාවන්ත තත්වය , අසාධාරණ අත්දැකීම් ගෙන දෙන දුක මදිවට, විවේචනය, නොරිස්සීම, නොපිළිගැනීම ආදිය මගින් තවත් දුක ඒකට එකතු කර නොගෙන ඉන්න ඔබට පුළුවන් වෙන්නෙ, පිළිගැනීම, තේරුම් ගැනීම තුළිනුයි. බුද්ධත්වයට පැමිණුනාට පස්සෙත් බුදුරජාණන් වහන්සේට අති භයානක දේවල් වලට මුහුණ දීමට සිදු වුනා. තමන්ගේම මස්සිනා නොයෙකුත් ආකාරයෙන් උන්වහන්සේ මරන්න උත්සාහ කළා. තවත් අය උන්වහන්සේ නොකරපු වැරදි වලට දෝෂාරෝපනය කළා, නොයෙකුත් අපහාස කළා, විවේචනයට ලක් කළා. උන්වහන්සේට දරුණු ශාරීරික ආබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වුනා. බුදුරජාණන් වහන්සේටත් එහෙම වුනා නම් අපි ගැන මොනව කියන්නද? නමුත් උන්වහන්සේ ඒ අත්දැකීම් වටා දුක ඇති කරගත්තෙ නැහැ. උන්වහන්සේ ඒවාට තරහින්, පිළිකුලෙන්, දොස් පැවරීමෙන්, ක්‍රෝධයෙන් ප්‍රතිචාර දැක්වුයේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කළේ ඒවා ඒ හැටියෙන් පිළිගැනීමයි.

උන්වහන්සේගේ මේ ආදර්ශමත්ඉගැන්වීම් මට ඉතාමත් වැදගත් දෙයක් වුනා. එය මට ඉගැන්නුවා, ජීවිතයෙන්, මට වාසි සහගත දේවල් නොඉල්ලන්න. ඒ වගේම, ‘හුඟක් භාවනා කළොත් ජීවිතයේ අමිහිරි අත්දැකීම් වලින් වැළකී ඉන්න පුළුවන්’ වේය යන බලාපොරොත්තුවක් මම ඇති කර ගත්තෙත් නැහැ. “දෙයියනේ මම අවුරුදු පණහකට කිට්ටු කාලයක් මහණ දම් පුරල තියෙනවා. කරුණාකරල, මෙච්චර කාලයක් හොඳ ළමයෙක් වගේ හිටි නිසා මට ලැබිය යුතු හොඳ දේවල් ලබා දෙන්න.” මම එහෙම ඉල්ලල බැලුව. නමුත් ඒක හරි ගියේ නැහැ. බැගෑපත්වීම් වලින්, ඉල්ලීම් වලින් තොරව ජීවිතය පිළිගැනිමට ඇති හැකියාව ගෙන දෙන්නෙ බලවත් විමුක්ති රසයක්. හේතුව, තමන්ගේ වුවමනා එපාකම් වලට අනුව වතාවරණය පාලනය කිරීමට, හැසිරවීමට අවශ්‍යතාවයක් තවදුරත් මතු වෙන්නෙ නැහැ. මගේ අනාගතය ගැන ලතවීමට හෝ නොසන්සුන් කමක් ඇති කර ගැනීමට හේතුවක් මට දැන් නැහැ. දැන් තියෙන්නෙ තමා කෙරෙහි ශ්‍රද්ධාවක්, විශ්වාසයක්. එඩිතර කමක් දැනෙන්නෙ; විශ්වාස කිරීමට, තැන්පත්වීමට, ජීවිතයට විවෘත වීමට, අත්දැකීමට විරෝධයක් නොපා, එයින් බියට පත්වෙන්නෙ නැතිව, එය විමසා බැලීමට,එයට මුහුණ දීමට පුරුදු පුහුණු කර ගත් හැකියාව නිසයි. ජීවිතයේ මතුවන දුක්කරදර වලින් ඉගෙනීමට ඔබ කැමති නම්, නොසෙල්වන මනසක් ඇති කර ගැනීමට ඔබත් සුදුස්සෙක් බව මතක තියා ගන්න.

සසර දුකින් ම්දිම..

15747671_573014179561201_4088093332149727638_n

දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං;
දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ කොසොල් රජතුමා හිටියා. ඒ කොසොල් රජතුමා දවසක් වීදි සංචාරයේ යෙදෙන කොට ලස්සන කාන්තාවක් දැක්කා. ඇය පිළිබඳ සිතක් පහළ වුණා. ඊට පසුව කොසොල් රජතුමා තමන්ගේ රාජ පුරුෂයන්ව යැව්වා මෙයා විවාහකද , අවිවාහකද කියලා දැන ගැනීමට. මේ කාන්තාව විවාහක කාන්තාවක්. කොහොමහරි මේ කාන්තාව ලබාගන්න ඕන කියන අදහස කොසොල් රජතුමාට ඇතිවුණා. එම නිසාම ඔහු කල්පනා කළා “රාජ සේවයට මොහු කැඳවලා ඔහුට කරන්නට බැරි රාජකාරියක් මම පවරනවා. එම රාජකාරිය ඉටුකළේ නැති වරදට මොහුට මරණීය දණ්ඩනය නියම කරලා මොහුගේ භාර්‍යාව මම ලබාගන්නවා” කියන අටියෙන් , ඔහුව රාජ්‍ය සේවය සඳහා කැඳෙව්වා. ටික කලක් රාජ්‍ය සේවයේ යෙදී සිටියාට පසුව ඔහුට නියම කළා ඉතා ඈත හැතැප්ම 40 ක් 50 ක් පමණ ඈත තියන ස්ථානයකින් “මේ දේ අරගෙන අද සවස් වන්නට ප්‍රථමයෙන් ඔබ පැමිණෙනන්ට ඕන. එසේ පැමිණියේ නැත්තම් ඔබට මරණීය දණ්ඩනය තමයි නියම වන්නේ “. ඉතින් මේ පුද්ගලයා උදේ පාන්දරම නැඟිටලා, වෙහෙස වෙලා, වෙහෙස වෙලා ඒ ඈත ගමට පයින් ගියා. සවස් වන්නට කලින් එන්නටත් ඕන. නමුත් කොසොල් රජතුමා නියම කළා දොරටුපාලකයන්ට මොනම හේතුවකටවත් අද මේ වෙලාවෙන් පස්සේ මේ දොරවල් අරින්නට එපාය කියලා.

ඉතින් මේ පුද්ගලයා අර අවශ්‍ය දේ ගේන්නට ගියා, සවස් වෙනකල් ඉන්නට බැහැ, ගමන දීර්ඝයි, වෙහෙසවෙලා, වෙහෙසවෙලා දොරටුව ගාවට ආවා, දොරටුපාලකයා ඇතුළට එන්නට ඉඩ දුන්නේ නැහැ. මොහු කල්පනා කළා, “හෙට උදේ මගේ මරණය සිදුවෙනවා” , දැන් රාත්‍රිය පුරාම ඔහුට නින්ද යන්නෙත් නෑ, අවසාන වශයෙන් මොහුට කරන්නට කියන්නට දෙයක් නැහැ, , උදේ පාන්දරම බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. මේ කොසොල් රජතුමාත් රාත්‍රිය පුරාම, කල්පනා කර කරා සිටියා, “හෙට මේ පුද්ගලයාගේ මරණය සිදුවෙනවා, ඊට පස්සේ ඔහුගේ භාර්‍යාව මම ගෙන්වනවා, මේ විදියට මේ විදියට අපි සැප විඳිනවා කියලා”. ඒ ගැන කල්පනා කර කරාම, ඔහුටත් රාත්‍රිය පුරාම නින්ද ගියේ නැහැ. ඉතින් කොසොල් රජතුමාත් පසුවෙනිදා උදේ බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා.
පොත්පත් වල දක්වා තිබෙනවා මේ කොසොල් රජතුමාට අර පුද්ගලයා පෙනෙන්නට එපා, දෙදෙනාට දෙදෙනා පෙනෙන්න්ට එපා කියලා, බුදුරජාණන් වහන්සේ අධිශ්ඨානයක් කළ බව. දෙදෙනාම දන්නේ නෑ, දෙදෙනාම ඉන්න බව.බුදුරජාණන් වහන්සේ හමුවට මේ දෙදෙනාම ගිහින් මේ පුවත් දෙක සැළ කළා. ඊට පස්සේ තමයි ඉහත කී ගාථාව දේශනා කළේ.
දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං;
දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං.

එහි අදහස,
නින්ද යන්නේ නැති පුද්ගලයාට රාත්‍රිය දිගයි.නිදාගත්තු පුද්ගලයකුට නම් කොච්චර වෙලා නිදාගත්තත් කාලය ගිය එක තේරෙන්නේ නෑ, නින්දෙන් අවදිවෙනවා.නමුත් නින්ද යන්නේ නැති පුද්ගලයාට රාත්‍රිය ගෙවෙන්න බොහෝ කාලයක් යනවා වගේ තේරෙන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහසේ දේශනා කළේ ” දීඝා ජාගරතො රත්ති” නින්ද යන්නේ නැති පුද්ගලයාට රාත්‍රිය දිගයි කියලා.
“දීඝං සන්තස්ස යොජනං” වෙහෙස වෙලා වෙහෙසවෙලා ගමන් කරලා පීඩාවට පත්වුණු කෙනාට යොදුන දිගයි. කොච්චර ගියත් මේක ඉවර වෙන්නේ නෑ, තවත් යන්න තියනවානේ කියන අදහස ඇතිවන්නේ,යනවා යනවා නිමක් වන්නේ නෑ, මොකද ගමන් වෙහෙසට පත්වෙලා තියන නිසා, ඔහුට යොදුන දිගයි. ඒ වගේම ” දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං. ” සද්ධර්මය නොදන්නා වූ බාලයාට සංසාරය දිගයි.

ඒකයි ඒ ගාථාවේ තේරුම. එතකොට අර පුද්ගලයා බොහෝ වෙහෙස වෙලා වෙහෙස වෙලා, ගමන් කරපු නිසා ගමන් කරන්නට තියන දුර ප්‍රමාණය දීර්ඝ වශයෙන් ඔහුට දැනෙන්නේ.කොසොල් රජතුමාටත් රාත්‍රිය පුරා නින්ද ගියේ නැති නිසා රාත්‍රිය දීර්ඝ රාත්‍රියක් බවට පත්වුණේ. මෙන්න මේ වගේම තමයි ධර්මය නොදන්නා වූ බාල මෝඩ පුද්ගලයන්ට සංසාරය අතිශයින්ම දීර්ඝයි.

මේ ධර්මය නොදන්නවා කියන්නේ මේ අය හිතන විදියට ධර්මය පාඩම් කරලා ඉගෙන ගෙන සිටින්නේ නැති එක නෙවෙයි. යම්කිසි කෙනෙක් ත්‍රිපිටක ධර්මයම කටපාඩම් කරගෙන සිටියා වුවත්, ත්‍රිපිටක වාගීශ්වර තත්වයට පත්වෙලා හිටියත්, ත්‍රිපිටකාචාර්‍ය විභාග සමත් වෙලා සිටියත් ඔහු ධර්මය දන්න පුද්ගලයෙක් නෙවෙයි.ධර්මය දන්නේ නෑ කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය වූ ධර්ම ඔහු ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ කියන එකයි. විශේෂයෙන්ම චතුරාර්‍ය සත්‍යය ධර්මය අත්දැකලා නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්, ඔහු ධර්මය දැකලා නෑ, එවැනි කෙනකුට මේ සංසාරය අතිශයින්ම දීර්ඝයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

සම්පූර්ණ දේශනය ශ්‍රවණය කරන්න.

සූත්‍ර පිටකය මජ්‌ඣිම නිකාය මූල පන්නාසකය මහා යමක වර්ගය මහාතණ්හාසඞ්ඛය සූත්‍රය

සූත්‍ර පිටකය
මජ්‌ඣිම නිකාය
මූල පන්නාසකය
මහා යමක වර්ගය
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
මහාතණ්හාසඞ්ඛය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහසිටුහු කළ ජෙතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කෙවට්ටපුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දර්ශනයෙක් උපන: “එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.

2. “කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කිහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.

3. ඉක්බිති ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුවුසිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විචාරත්: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන (අභිභවා කීම) නො කරව. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නන් නියරින් විඥාන ප්‍රත්‍යයොත්පන්න යයි වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැතියි කීහු. මෙසෙයිනුදු කෙවුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුවුස්නා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමර්‍ශ කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඥාන දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්නාහ. එකත්පස් ව හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:

4. වහන්ස, කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන යනු ඇසුම්හ. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණහු කරා ගියම්හ. ගොස් කෙවුළුපුතු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යනු සැබෑදැ” යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙවුළුපුතු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුවුසුම්හ, ලබ්ධි ගැන්වූම්හ, කරණු විචාළම්හ: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත, සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයොත්පන්න’ යයි නන් අයුරින් වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානයාගේ සම්භවයෙක් නැති යි වදාරන ලදි.” වහන්ස කෙවුළුපුත් සාතිමහණ අප විසින් මෙසෙයිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමර්‍ශ කොට ගෙන පිවිසගෙන බෙණෙයි: “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසු දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි කියයි. වහන්ස යම් හෙයකින් අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ යි.

5. එසඳ බුදුහු එක්තරා මහණකු ඇමතූසේක: මහණ තෝ එව, මා බසින් කෙවුළුපුතු සාතිමහණ අමත: ‘ඇවත, සාතියෙනි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙවුළුපුතු සාතිමහණහු කරා එළඹියේය. එළඹ කෙවුළුපුතු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත සාතියෙනි, ශාස්තෲන්වහන්සේ තොප කැඳවනසේකැ’යි. ‘ඇවැත, එසේයැ’යි කෙවුළුපුතු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කෙවුළුපුතු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: “සැබැව, සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඥානයම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ’යි යම් පරිදි දෙසූසේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි.

6. සාතියෙනි, ඒ විඥාන කිම?

“වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වෙදනා විඳින්නේ, ඒ ඒ (භව යොනි ගති ආදි) තන්හි කුශලාකුශල කර්‍මයන්ගේ විපාක විඳින්නේ වේ ද, මෙ විඥානය”යි සැළකෙළේ ය.

මොඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දන්හි? මොඝපුරුෂය, මා විසින් නන්අයුරින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද? ඒ මතු ද, මොඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැයින් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙනි) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙහි. මොඝපුරුෂය, ඒ පවිටු දිටු තට දීර්ඝ රාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටෙයී වදාළහ.

7. එක්බිති බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: මහණෙනි, ඒ කිම හඟිවූ ද, කෙවුළුපුතු මේ සාති මහණ මෙ සස්නෙහි උසුම් කෙළේ (මගපල පිණිස උනුසුමකුදු ඇත්තේ) වේ ද? “වහන්ස, කෙසේ නම් වන්නේය. වහන්ස, තෙල නොවන්නේ ම ය.” මෙසේ කී කල්හි කෙවුළුපුතු සාති මහණ නිහඬව, නිතෙදව, බැහු කඳට ඇති ව, අධොමුඛ ව, සිතිවිලි සිතනු ව, වටහනු නැති ව හින. එසඳ බුදුහු කෙවුළුපුතු සාතිමහණහු තූෂ්ණීම්භූත වූවහු, නිස්තෙජස්ක වූවහු, නැමූ කඳට ඇතියහු, අධොමුඛ වූවහු, සිතිවිලි සිතනුවහු, නොවැටහෙනහු දැන කෙවුළුපුතු සාතිමහණහට තෙල බස් වදාළහ: “මොඝපුරුෂය, තො ම තෙල ලාමක දෘෂ්ටියෙන් පැණෙහි. මම මෙහි (මුළුදුන්) මහණගණ පුළුවුස්මි”යි.

8. එක්බිති බුදුහු මහණුන් ඇමතුසේක: “මහණෙනි, යම්සේ මේ කෙවුළුපුතු සාති මහණ තමා වරදවා ගත් දිටුවෙන් අපට ද අභිභවා බෙණේ ද, තමනුදු (ගුණබණනයෙන්) කැණැගන්නේ වේද, බොහෝ අකුසලුදු රැස්කොට ගන්නේ වේ ද, තෙපිදු එසේ මා දහම් දෙසුවා දන්හුදැ”යි වදාළහ. “වහන්ස, තෙල නෙ වේ ම ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් අපට නන්අයුරින් විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැයි, ප්‍රත්‍යයයෙන් තොරව විඥානසම්භවයෙක් නැති”යි වදාරන ලදි. මැනැව, මහණෙනි. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසුවා පිළිගනුව, මනාමය. මහණෙනි, මා විසින් තොපට විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැ යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි නන්නියරින් වදාරන ලදි. එතෙකුදු වුව, කෙවුළු පුතු මේ සාති මහණ තමන් වරදවා ගත් දිටුයෙන් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙයි. තමා ද කණියි. බොහෝ පව් ද රැස් කෙරෙයි. එය ම ඒ මොඝපුරුෂහට දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ යැ යි වදාළෝ.

(සාති කාණ්ඩය.)

9. මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා විඥානය පහළ වේ ද, එයිනෙයින් ම (ඒ විඥාන) ගණනට (ඇඳිනීමට) යෙයි. ඇස ද රූපයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) චක්ඛුවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) සොතවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) ඝානවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥානයෙක් පහළ වේ (එය) ජිව්හාවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) කායවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි මනස ද ධර්‍මයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) මනොවිඤ්ඤාණ ය යි ම ගණනට යෙයි.

මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා ගිනි දිලේ ද, (ඒ ගිනි) ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම යම්සේ ගණනට යේ ද – කාෂ්ඨය ද නිසා අග්නි දිලෙයි, කාෂ්ඨාග්නි ම ය යි ගණනට යෙයි. සකලිකා (කටපොතු – ලී කැබලි) ද නිසා අග්නි දිලෙයි, සකලිකාග්නිම ය යි ගණනට යෙයි. තෘණ ද නිසා ගිනි දිලෙයි, තෘණාග්නි ම ය යි ගණනට යෙයි. ගොම ද නිසා ගිනි දිලෙයි, ගොමයාග්නි ම ය යි ගණනට යෙ යි. තුෂ (දහසිවි නිසා) ද ගිනි දිලෙයි, තුෂාග්නිම ය යි ගණනට යෙයි. සඞ්කාර (කසළ) ද නිසා ගිනි දිලෙයි, සඞ්කාරාග්නි ම ය යි ගණනට යෙයි. මහණෙනි, එපරිදි ම යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥාන උපදනේ වේද, ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම ගණනට යෙයි. ඇස ද රූපයන්ද නිසා විඥාන පහළ වේ. චක්‍ඛුවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥාන පහළ වේ. සොතවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන්ද නිසා විඥාන පහළ වේ. ඝානවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. දිව ද රසයනුදු නිසා විඥාන පහළ වෙයි. ජිව්හාවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥාන පහළ වේ. කායවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. සිත ද ධර්‍මයන් ද නිසා විඥාන පහළ වේ. මනොවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි.

10. මහණෙනි, මේ පඤ්චස්කන්‍ධය භූත යයි (වූ දැයෙකියි) දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධය ආහාරසම්භව (ප්‍රත්‍යය ඇතිකල උපදනේ)ය යි දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය ඒ ප්‍රත්‍යයනිරොධහෙතුයෙන් නිරොධ සැහැවි ඇතැයි දක්නාහු ද? වහන්ස එසේය.

11. මහණෙනි, මේ පස්කඳ භූත වේ දෝ නොවේ දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ දෝ නොවේදෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යනිරොධහෙතුයෙන් නිරොධ සැහැවි ඇද්දෝ නැද්දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස එසේය.

12. මහණෙනි, මේ පස්කඳ භූත යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විසිකිස් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරොධහෙතුයෙන් නිරොධ සැහැවි ඇති යි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය.

13. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරොධයෙන් නිරොධ සැහැවි ඇතියි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය.

14. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි යථාභූතය විවසුන් නුවණින් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යයනිරොධයෙන් නිරොධස්වභාව ඇතියි යථාභූතය විවසුන් නුවණින් දුටුයේ වේ ද? වහන්ස, එසේය.

15. මහණෙනි, ඉදින් තෙපි මෙසෙයින් (ස්වභාවදර්ශනයෙන්) පරිශුද්ධ, මෙසෙයින් (ප්‍රත්‍යයදර්ශනයෙන්) පර්ය්‍යවදාන, මේ සම්‍යග්දෘෂ්ටිය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇලීගෙන වසවු නම්, කෙළිකොට ගනිවු නම්, ධනය මෙන් කොට ගනිවු නම්, මමත්වය කරවු නම්, මහණෙනි, “නිස්තරණය (සසරින් එතෙරවීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙති”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගනිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉඳින් තෙපි මෙසෙයින් පරිශුද්ධ, මෙසෙයින් පර්ය්‍යවදාන, මේ සම්දිටු ඇලීගෙන නොවසවු නම්, කෙළිකොට නොගනිවු නම්, ධන වැනි කොට නොගනිවු නම්, මහණෙනි, තෙපි “නිස්තරණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙති”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගන්නහු ද? වහන්ස, එසේය.

16. මහණෙනි, හටගත් සත්ත්‍වයනට ස්ථිති පිණිස හටගන්නා සත්ත්‍වයනට අනුග්‍රහ පිණිස මේ ආහාරයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: කබලිඞ්කාර (පිඩුකොට කෑ යුතු ඖදාරීක වූ හෝ සූක්ෂ්ම වූ හෝ ආහාරය, දෙවන ඵස්සාහාර ය, තෙවන මනොසඤ්චෙතනාහාර ය, සතරවන විඤ්ඤාණාහාර යි.

17. මහණෙනි, මේ ආහාරයෝ සතරදෙන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? මේ ආහාරයෝ සතරදෙන තෘෂ්ණානිදාන කොට තෘෂ්ණාසමුදය කොට තෘෂ්ණාජාතික කොට තෘෂ්ණාප්‍රභව කොට ඇතියහ.

18. මහණෙනි, මේ තෘෂ්ණා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? තෘෂ්ණා වෙදනානිදාන කොට වෙදනාසමුදය කොට වෙදනා ජාතික කොට වෙදනා ප්‍රභව කොට ඇතිය.

19. මහණෙනි, මේ වෙදනා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? වෙදනා ස්පර්ශනිදාන කොට ස්පර්ශසමුදය කොට ස්පර්ශජාතික කොට ස්පර්ශප්‍රභව කොට ඇති ය.

20. මහණෙනි, මේ ස්පර්ශ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ස්පර්ශ ෂඩායතනනිදාන කොට ෂඩායතනසමුදය කොට ෂඩායතනජාතික කොට ෂඩායතනප්‍රභව කොට ඇති ය.

21. මහණෙනි, මේ ෂඩායතන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ෂඩායතන නාමරූපනිදාන කොට නාමරූපසමුදය කොට නාමරූපජාතික කොට නාමරූපප්‍රභව කොට ඇතිය.

22. මහණෙනි, මේ නාමරූප කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? නාම රූප විඥානනිදාන කොට විඥානසමුදය කොට විඥානජාතික කොට විඥාන ප්‍රභව කොට ඇතිය.

23. මහණෙනි, මේ විඥාන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? විඥාන සංස්කාර නිදාන කොට සංස්කාරසමුදය කොට සංස්කාරජාතික කොට සංස්කාරප්‍රභව කොට ඇතිය.

24. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? සංස්කාරයෝ අවිද්‍යානිදාන කොට අවිද්‍යාසමුදය කොට අවිද්‍යාජාතික කොට අවිද්‍යාප්‍රභව කොට ඇතියහ.

25. මහණෙනි, මෙසෙයින් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය, ස්පර්ශප්‍රත්‍යයයෙන් වෙදනාය, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාය, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය, භවප්‍රත්‍යයෙන් ජාතිය, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ ශොක පරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසෙයින් (සත්ත්‍ව පුද්ගල විරහිත) ශුද්ධ දුඃඛපුඤ්ජයාගේ උත්පාදය වෙයි.

26. ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ’ය කියා යි.

27. ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ය කියායි.

28. ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ය කියා යි.

29. ‘තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ’ය කියායි.

30. ‘වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වේ’ය කියායි.

31. ‘ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වෙදනා වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වෙදනා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ’ය කියායි.

32. ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වේ’ය කියා යි.

33. ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ’ය කියා යි.

34. ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානප්‍රත්‍යයයෙන් නාම රූප වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද, වහන්ස, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ’ය කියා යි.

35. ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ’ය කියා යි.

36. ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ’ය කියා යි.

37. මැනව මහණෙනි, මෙසේ මහණෙනි, තෙපිදු මෙසෙයින් කියන්නාව. මම ද මෙසෙයින් වදාරමි: “මෙ දහම් ඇති වත් ම මෙ දහම් වෙයි, මෙ දහම් පහළ වන්නා හා ම මෙ දහම් පහළ වෙයි – කෙසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ ය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන ය, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප ය, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන ය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ ය, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වෙදනා ය, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා ය, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන ය, උපාදාන ප්‍රත්‍යයයෙන් භව ය, භව ප්‍රත්‍යයයෙන් ජාති ය, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ ශොක පරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසේ හුදු දුඃඛ රාශිහුගේ සම්භවය වේ”ය කියා යි.

38. අවිද්‍යාවගේ ම විරාග සංඛ්‍යාත මාර්ගයෙන් වන අශෙෂ නිරොධ හෙතුයෙන් සංස්කාරයන්ගේ අනුත්පාද නිරොධ වෙයි. සංස්කාරයන්ගේ අනුත්පාදයෙන් විඥානයාගේ අනුත්පාදය වෙයි. විඥානයාගේ අනුත්පාදයෙන් නාමරූපයන්ගේ අනුත්පාදය වෙයි. නාමරූපයන්ගේ අනුත්පාදයෙන් ෂඩායතනයන්ගේ අනුත්පාදය වෙයි. ෂඩායතනයන්ගේ අනුත්පාදයෙන් ස්පර්ශයාගේ අනුත්පාදය වෙයි. ස්පර්ශයාගේ අනුත්පාදයෙන් වෙදනාවගේ අනුත්පාදය වෙයි. වෙදනාවගේ අනුත්පාදයෙන් තෘෂ්ණාවගේ අනුත්පාදය වෙයි. තෘෂ්ණාවගේ අනුත්පාදයෙන් උපාදානයාගේ අනුත්පාදය වෙයි. උපාදානයාගේ අනුත්පාදයෙන් භවයාගේ අනුත්පාදය වෙයි. භවයාගේ අනුත්පාදයෙන් ජාතියගේ අනුත්පාදය වෙයි. ජාතියගේ අනුත්පාදයෙන් ජරා මරණ ශොක පරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරොධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල දුඃඛ පුඤ්ජයාගේ අනුත්පාද වෙයි.

39. ‘ජාතිනිරොධයෙන් ජරාමරණ නිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදි. මහණෙනි, ජාති නිරොධයෙන් ජරාමරණ නිරොධය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති නිරොධයෙන් ජරාමරණ නිරොධය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිනිරොධයෙන් ජරාමරණ නිරොධ වේ’ ය කියා යි.

40. ‘භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භව නිරොධයෙන් ජාති නිරොධ වේ ද, නොහොත් නො වෙ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භව නිරොධයෙන් ජාතිනිරොධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවනිරොධයෙන් ජාතිනිරොධ වේ’ ය කියා යි.

41. ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන නිරෝධයෙන් භවනිරොධ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ’ ය කියා යි.

42. ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණානිරොධයෙන් උපාදාන නිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වේ’ය කියායි.

43. ‘වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ’ය කියාය.

44. ‘ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරෝධ වේ’ ය කියායි.

45. ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වේ’ ය කියායි.

46. ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, නාමරූප නිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ’ ය කියායි.

47. ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ’ය කියායි.

48. ‘සංස්කාරනිරොධයෙන් විඥානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, සංස්කාරනිරොධයෙන් විඥානනිරොධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාරනිරොධයෙන් විඥානනිරොධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය. ‘සංස්කාරනිරොධයෙන් විඥානනිරොධ වේ’ ය කියායි.

49. ‘අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වේ’ ය කියායි.

50. මැනැව මහණෙනි, මේසෙයින් මහණෙනි, තෙපිදු මෙසේ කියන්නාව. මම ද මෙසේ වදාරමි: මේ දහම් නැතිවත් ම මේ දහම් නො වෙයි. මේ හෙතු ධර්‍මයාගේ අනුත්පාදයෙන් මේ ඵලධර්‍ම අනුත්පන්න වෙයි – කෙසේය යත්: අවිද්‍යාවගේ අනුත්පාදනිරොධයෙන් සංස්කාරනිරොධය වෙයි. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වෙයි. විඥානනිරොධයෙන් නාමරූපනිරොධය වෙයි. නාමරූපනිරොධයෙන් ෂඩායතනනිරොධය වෙයි. ෂඩායතනනිරොධයෙන් ස්පර්ශනිරොධය වෙයි. ස්පර්ශනිරොධයෙන් වෙදනානිරොධය වෙයි. වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වෙයි. තෘෂ්ණානිරොධයෙන් උපාදානනිරොධය වෙයි. උපාදානනිරොධයෙන් භවනිරොධය වෙයි. භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි. ජාතිනිරොධයෙන් ජරා මරණ ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරොධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල කෙවල දුඃඛ පුඤ්ජයාගේ නිරොධ වේය යයි.

51. මහණෙනි, කිම, තෙපි මෙසේ (ප්‍රත්‍යය නිසාමය) දන්නාහු මෙසේ දක්නාහු (අතීතස්කන්‍ධාදි) පුර්‍වාන්තයට හෝ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) වටාලා දුවන්නාව? “අපි අතීතයෙහි වූමෝ ද, අතීතයෙහි නො වූමෝ ද, අතීතයෙහි (ජාත්‍යාදීන්) කෙබඳු වූමෝ ද, අතීතයෙහි (සටහන් විසින්) කෙබඳු අයුරු ඇති වූමෝ ද, අපි අතීතයෙහි කෙබඳුව සිට කෙබඳු අයුරු ඇති වූමෝ ද, කියායි. වහන්ස, තෙල නොවන්නේය.

52. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු, අපරාන්තයට හෝ ඉදිරි බලා යන්නාව? “අපි අනාගතයෙහි වන්නමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු අයුරු ඇති වන්නමෝ ද, අපි අනාගතයෙහි කෙබඳු ව කෙබඳු අයුරු ඇති වන්නමෝ ද” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

53. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු දැන් ප්‍රත්‍යුපන්නකාලයෙහි හෝ තමා කෙරෙහි සැක ඇතියාව? “මම වෙම් දෝ, නො වෙම් දෝ, කෙබඳු වෙම් දෝ, කෙබඳු අයුරු වෙම් දෝ, මේ සත්ත්‍ව කොයින් ආයේ වේ දෝ හෝ, හේ කොහි යන්නේ වේ දෝ” කියායි වහන්ස, තෙල නොවන්නේය.

54. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපට ගුරුවන (නොකැමැති වුව ද අනුවර්තිත වියයුතු වන) ශාස්තෘවරයෝ ය, එයින් ශාස්තෘගෞරවයෙන් අපි මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

55. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපගේ බුද්ධශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරති. අපි ඒ ශ්‍රමණවචනයෙනුදු මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

56. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අන් බහ්‍යශාස්තෘකෙනෙකු උදෙසන්නාව? තෙල නොවන්නේ ය.

57. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු බොහෝ තීර්ථකශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ගේ යම් ව්‍රතසමාදාන, දිටුකුහුල්, දෘෂ්ටාදිමඞ්ගල ඇත් ද, ඒ සාර විසින් පිළිගන්නාව? වහන්ස, තෙල නො වන්නේය.

58. මහණෙනි, යම් ම දැයෙක් තොප විසින් තමන් නුවණින් දන්නා ලද ද, තමන් පැනැසින් දක්නා ලද ද, තමන් පාළ කොට ගන්නා ලද ද, එය ම තෙපි කියන්නාහු නොවේ ද? වහන්ස, එසේය.

59. මැනැව මහණෙනි. මා විසින් – ඵල දෙනුවට කලතුරක් නැත්තා වූ එව, බලව යන විධිය නිසිවූ, තමා සිතින් එළඹීමට සුදුසු වූ, විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ, තමා විසින් ම දැක්ක යුතු මේ සාන්දෘෂ්ටික ධර්‍මයෙන් තෙපි නිවන් කරා පමුණුවන ලද්දහුය. මහණෙනි, “මේ ධර්‍මය සාන්‍දෘෂ්ටිකය, අකාලිකය, එව, බලව යන විධියට නිසිය, උපනයනාහීය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා” මෙසේ යම් බසෙක් වදාරන ලද ද, තෙල බස (තොපගේ) මේ ස්වයංඥාතාදි භාවය පිණිස කියන ලදී.

60. මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සමවධානයෙන් ගර්භාවක්‍රාන්ති (ගබ්ගැනීම) වෙයි. මේ සත්ත්‍වලොකයෙහි දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව ඔසප් නො වූ ද, ගඳඹෙක් (එහි උපදනා සතෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්‍භාවක්‍රාන්ති නො වන්නේ ය. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේද, එතෙකිනුදු ගර්‍භාවක්‍රාන්ති නො ම වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, ගඳඹෙක් එළඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් ගර්භාවක්‍රාන්ති වෙයි.

61. මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිටි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත්සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්ය්‍යවිනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම් වෙයි.

62. මහණෙනි, ඒ කුමර ඉඳුරන් පිනවන්නට නිසි වැඩිවියට පැමිණ ඉන්ද්‍රිය පරිපාකය ලදින් කුමරුන් කෙළෙනා යම් යම් කෙළිබඩු ඇත් ද, එයින් කෙළියි. ඒ කෙළි කෙසෙය යත්: කුඩානගුල, දඬුකඩ, (කල්ලි ගැසුම), පිරිවැටුම, බුමුසක, පත්මුවානැළි, කුඩාරිය, කුඩාදුනු යන මේයි.

63. මහණෙනි, ඒ කුමර (ඉඳුරන් පිනවන්නට නිසි) වියපැමිණ මුහුකරාගිය ඉඳුරන් ඇති බවට පැමිණ පස්කම්ගුණෙන් සමර්පිත ව සිය ඉඳුරන් පිනවයි. (කෙසේය?) ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රියරූප, කාමොපසංහිත, රජනීය, චක්‍ෂුර්විඥෙය රූපයෙන් පිනවයි. ශ්‍රොත්‍රවිඥෙය ශබ්දයෙන් . . . ඝ්‍රාණවිඥෙය ගන්‍ධයෙන් . . . ජිහ්වාවිඥෙය රසයෙන් . . . ඉටු වූ කලණවූ මනවඩන පියසැහැවි ඇති, කම්සුව ඇසිරිකළ, සිත්අලවන්නට නිසි කායවිඥෙය පහසින් පිනවයි.

64. හේ ඇසින් රූ දැක පියරූප වූ රූපයෙහි සංරාග කෙරෙයි. අප්‍රිය රූප වූ රූපයෙහි ව්‍යාපාද උපදවයි. අකුසල් සිතැති ව නො එළඹ සිටි කාගියාසී ඇති ව ද වාස කෙරෙයි. යම් පල සමවතෙකැ ඒ ලාමක වූ අකුසල්දහම්හු නිරවශෙෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද තත්වූ පරිදි නොදනී. හේ මෙසෙයින් රාගද්වෙෂ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි, යම් කිසි වෙදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වෙදනා (තෘෂ්ණාවෙන්) අභිනන්‍දනා කෙරෙයි. (අහො සුවයෙකියි) බෙණේ. ගැලැගෙන සිටි. ඔහුට ඒ වෙදනායෙන් තුස්නාහට, බණනුවාහට, ගැලැගෙන සිටුනාහට තෘෂ්ණා උපදි. වෙදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ උපාදාන වෙයි. ඔහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශොකපරිදෙවදුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ පහළ වෙති. මෙසෙයින් තෙල කෙවල දුඃඛපුඤ්ජයාගේ උදාවීම වෙයි. කණින් ශබ්ද අසා . . . නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට . . . දිවින් රස ආස්වාද කොට . . . කයින් පහස විඳ . . . මෙනෙන් දහම් දැන ප්‍රිය වූ දහම් අරමුණෙහි ඇලේ. අප්‍රිය ධර්‍මාලම්බනයෙහි විරොධ කෙරේ. අකුසල් සිතැතිව නො එළඹි කාගියාසී ඇතිව වාස කෙරේ. යම් පලසමවතෙකැ ඒ ලමු අකුසල් දහම්හු නිඃශෙෂව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තත්වු පරිදි නො දනී. හේ මෙසෙයින් අනුරොධ විරොධ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, උපෙක්‍ෂා වේවයි, යම්කිසි වෙදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වෙදනා අභිනන්‍දන කෙරේ, බෙණේ, ගැලැගෙන සිටී. ඒ වෙදනා අභිනන්‍දනා කරන බණන, ගැලැගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. වෙදනායෙහි යම් තෘෂ්ණායෙක් ඇත් ද, වේදිතව්‍යයයි. ඒ උපාදාන වෙයි. ඔහුට උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙත්. මෙසේ තෙල කෙවල දුඃඛ පූඤ්ජයාගේ උදාවීම වන්නේ ය.

65. මහණෙනි, මෙලොව අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලොකවිද් වූ, අනුත්තරපුරුෂදම්‍යසාරථි වූ, දෙවමනුෂ්‍යයනට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබොධ කළා වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වනසේක. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට දන්වනසේක. උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්ය්‍යවසානකල්‍යාණ කොට සාර්ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසන සේක. කෙවලපරිපූර්ණ කොට පරිශුද්ධ කොට බඹසර පවසන සේක. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා නීචකුලයෙක උපනුවෙක් හෝ ඒ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ ලබයි. ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්වාගත වූයේ මෙසේ මෙනෙහි කෙරේ: “ගෘහවාස සම්බාධය, (රාගාදි විසින්) රජොමාර්ගය, ප්‍රව්‍රජ්‍යා අභ්‍යවකාශය. ගිහිගෙහි වසනුවහු විසින් එකාන්තපරිපූර්ණ, එකාන්තපරිශුද්ධ, ධෞතශඞ්ඛසදෘශ මේ බඹසර සරන්නට සුකර නො වේ. මම කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙම් නම් මනා මැනු යි” කියායි. හේ පසු කලෙක අල්පවූ හෝ භොගස්කන්‍ධය පියා, මහත් වූ හෝ භොගස්කන්‍ධය පියා, අල්ප වූ හෝ ඥාතිපරිවර්තය පියා, මහත් වූ හෝ ඥාතිපරිවර්තය පියා, කෙහෙමස් අපහරණ කොට කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදනේය.

66. හේ මෙසේ පැවිදිවූයේ, (අධිශීලසඞ්ඛ්‍යාත) ශික්‍ෂාවට ද (ප්‍රඥප්තශික්‍ෂාපදසඞ්ඛ්‍යත) සාජීවයට ද පැමිණියේ, පණිවා පියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහතැබූ දඬු ඇතියේ බහාලූ සැත් ඇතියේ, ලජ්ජිවූයේ, දයාවට පැමිණියේ, සර්වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. අයිනාදන් පියා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන්දෑ ගන්නේ, දුන්දෑ කැමැතිවනුයේ, නොසොර පිවිතුරු ආත්මයෙන් වෙසේ. අබ්‍රහ්මචර්ය්‍යය පියා බඹසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුහැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෛථුනයෙන් විරත වෙයි. මුසවා පියා මුසවායෙක් වැළකියේ වෙයි. සත්‍යවාදී වූයේ, සත්‍යසන්‍ධාන ඇතියේ, ස්ථිරවචන ඇතියේ, ඇදැහිය යුතු බස් ඇතියේ, ලොකයා විසංවාද නොකරනුයේ වෙයි. පිසුණු බස් පියා පිසුණු බසින් වැළැකියේ වෙයි: මුන් බිඳිනු සඳහා මෙහිදී අසා එහි නොකියනු වෙයි. එතැන අසා උන්බිඳිනු සඳහා මුනට නො කියනු වෙයි. මෙසෙයින් බුන් අය ගළපනු හෝ සමගි වූවනට සන්‍ධාන දෙනු හෝ වෙයි. සමගරම් ව සමගරත ව සමගියෙහි අභිනන්‍දනා ඇති ව සමගකරණබස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි: නිදොස් (ඛ්‍යඤ්ජන විසින්) කණට සුවදෙන, පෙමට නිසි, ළගන්නා, (ගුණපරිපූර්ණතායෙන්) පුරවැසි, බොහො දෙනට ප්‍රිය, බොහො දෙනගේ මනවඩන යම් බස් ඇත් ද, එබඳු බස් බණනු වෙයි. සම්ඵප්පලාප පියා පලපින් වැළකියේ වෙයි: බුණුවමනා කල්බලා බණන, දහම් බණන (මෙලෝපරලෝ) අරුත් ඇසිරි කොට බණන, නවලොව්තුරු දහම් ඇසිරි කොට බණන, (සංවර – ප්‍රහාණ) විනය ඇසිරි කොට බණන, අයුතුකල්හි සකාරණ, පරිච්ඡෙද ඇති, අර්ථසංහිත, ළෙහි ලා ගතයුතු බස් බණනු වෙයි.

67. හේ (මූලබීජාදි) බීජග්‍රාම හා (නීලතෘණාදි) භූතග්‍රාම (ඡෙදනපවනාදි) විකොපතායෙන් වැළකියේ වෙයි. රාත්‍රි භොජනයෙන් වැළැකියේ වෙයි. විකල්බොජුනෙන් වැළැකියේ ඓකභක්තික වෙයි. නටනුගනු වයනු විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීමය මණ්ඩනය විභූෂණය යන් මින් වැළැකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (පුරුෂාන්තර ගත) ස්ත්‍රින් හා (තදන්‍ය) ස්ත්‍රීන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (කැපකරු ඇරැමි වසයෙන් වත් මුත්) දැසිදස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළුහූරු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත් ගෙරි අස් වෙළඹ පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දූතකම් පිණිස තැන තැන යෑමෙන්, තෙපුල්ගෙන ගෙන් ගෙට යන කුදුගමනින් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළකියේ වෙයි. තුලාකූට – කංසකූට – මානකූට විසින් වඤ්චා (නුළු) කිරීමෙන් වැළැකියේ වෙයි. ලස්ගැන්ම – නුළුකිරීම – මායා – සාවියොගයෙන් (කුටිලප්‍රයොගයෙන්) වැළැකියේ වෙයි. (අත්සිඳීම් ඈ) ඡෙදනය, වධය, (රජ්ජුබන්‍ධනාදි) බන්‍ධනය, විපරාමොෂය (සැඟවී සිට මංපැහැරීම), ගම්වොලොගැන්ම, සාහසිකක්‍රියා යන මෙයින් වැළැකියේ වෙයි.

68. හේ කායපරිහරණමාත්‍ර චිවරයෙන් සන්තුෂ්ට වෙයි. කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අෂ්ටපරිෂ්කාරමාත්‍රය) ගෙන ම යෙයි. යම්සේ පියා ඇති ළිහිණියෙක් යම් යම් ම දිගෙක්හි පියා පැහැර යේ ද, පත්‍රභාර සහිත ව ම අහස නැඟගන්නේ වේ ද, එපරිද්දෙන් ම මහණ කායපරිහරණමාත්‍ර චීවරයෙනුදු කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අටපිරිකර) ගෙන ම යෙයි.

හේ මේ අරීසිල් කඳින් සමන්වාගත වූයේ තමා තුළ අනවද්‍යසුඛය විඳුනේය.

69. හේ ඇසින් රූ අරමුණු දැක නිමිති ගන්නාසුලු නො වේ. අනුවියඳුන් ගන්නාසුලු නො වේ. යම් හෙයෙකින් චක්‍ෂුරින්ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අකුසල්දහම් වන අභිධ්‍යාදෞමනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. චක්‍ෂුරින්ද්‍රියෙහි සංවරයට වදනේය. කණින් ශබ්ද අසා . . . නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට . . . දිවින් රස ආස්වාද කොට . . . කයින් පහස පැහැස . . .සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජන ග්‍රාහී නො වේ. යම් හෙයෙකින් මනින්ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අසල්දහම් වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ මනින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. මනින්ද්‍රිය රක්නේය. මනින්ද්‍රියෙහි සංවරයට වදනේය. හේ මෙකී ඉන්ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ සියසතන්හි අව්‍යාසෙක (කෙලෙස්මුසු නැති) සුඛය විඳුනේය.

70. හේ ඉදිරිගමනෙහි දු වටලා ඊමෙහි දු සම්‍යක්ප්‍රඥාවෙන් දැන එය කරන්නේ වේ. ඉදිරි බැලීමෙහි ඔබමොබ බැලීමෙහි සම්පජානකාරී වේ. (අත්පා) හැකිළිම් දිගුකිරීම්හි සම්පජානකාරී වේ. සඟළ හා පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වේ. භොජ්‍යයෙහි පෙයයෙහි ඛාද්‍යායෙහි ලෙයයෙහි සම්පජානකාරී වේ. මලමූකිසෙහි සම්පජානකාරී වේ. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සම්පජානකාරී වේ.

71. හේ මෙකී ආර්ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකි ආර්ය්‍ය ඉන්ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනශුන්‍ය සෙනසුන් සෙවුනේය: (දුනුපන්සියෙන් දුරෙහි වූ) අරන, (ගනසා) රුක්මුල, සෙල, කඳුර, දෙපවුඅතුර, සොහොන, ගැඹුරුවන, නොසන්අබවස, පිදුරුකිළි යි හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ උඩුකය ඉදිකොට තබා, කමටහන් අභිමුඛ කොට සිහි එළවා, පලක් බැඳ හිඳුනේය.

72. හේ පඤ්චොපාදානස්කන්‍ධයෙහි රාගය (විෂ්කම්භන විසින්) පියා, පැහු අභිධ්‍යා ඇතිසිතින් වාස කෙරේ. අභිධ්‍යායෙන් සිත මුදවයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වෙෂය (ක්‍රොධය) පියා සර්වසත්ත්‍වහිතානුකම්පී ව ව්‍යාපාදයට නො පත් සිතැති ව වාස කෙරේ. ක්‍රොධයෙන් සිත්සතන මුදවයි. ස්ත්‍යානමිද්ධය පියා පැහු ස්ත්‍යානමිද්ධ ඇතියේ, ආලොක සංඥා ඇතියේ. සිහි ඇතියේ, නුවණැතියේ වාස කෙරේ. ස්ත්‍යාන මිද්ධයෙන් සිත මුදවයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය පියා අනුද්ධෘත ව සියසතන සන්හුන් සිතැති ව වාස කෙරේ. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත මුදවයි. විචිකිත්සා පියා තුණුවිසිකිස් ඇති ව අනවද්‍යධර්‍මයෙහි කථංකථඞ්කාර නැති ව වාස කෙරේ විචිකිත්සායෙන් සිත මුදවයි.

73. හේ චිත්තොපක්ලෙශ වන, ප්‍රඥාව දුර්වලකරණ මේ පඤ්චනීවරණයන් පියා කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව ම සවිතර්‍ක, සවිචාර, විවෙකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරේ. තව ද මහණෙනි, මහණ මතුයෙහි විතර්‍කවිචාර සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම් කරන, උතුම් චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරේ. ප්‍රීතියාගේ ද විරාගයෙන් උපෙක්‍ෂා ඇත්තේ . . . තෘතීයධ්‍යාන උපයා වාස කෙරේ . . . සුඛදුඃඛප්‍රහාණයෙන් . . . චතුර්ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ.

74. හේ ඇසින් රූ දැක ප්‍රියරූප රූපයෙහි රාග නො කෙරේ. අප්‍රියරූප රූපයෙහි ව්‍යාපාදයට නො පැමිණේ. එළඹ සිටි කාගියාසී ඇතියේ, මාර්‍ගචිත්තසමන්විත වූයේ. යම් ඵලසමාපත්තියෙක ඒ ලමු අකුසල් දහම්හු නිඃශෙෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්ති ප්‍රඥාවිමුක්ති තත්වූ පරිදි දනි. හේ මෙසෙයින් රාගදොෂ විප්‍රහීණ ව සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් ම වෙදනාවෙක් විඳුනේ වේද, හේ ඒ වෙදනාව (තෘෂ්ණා) විසින් අභිනන්‍දනා නො කෙරෙයි. (අහෝ සුඛයෙකි යී) නො බෙණේ ගැලැගෙන නොසිටි. ඒ වෙදනා අභිනන්‍දනා නො කරන, තුති විසින් නොබණන, ගැලැගෙන නො සිටුනා ඔහට වෙදනායෙහි යම් නන්‍දියෙක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහුට නන්‍දිනිරොධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරොධයෙන් භවනිරොධ වෙයි. භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි. ජාතිනිරොධයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඃඛදෞර්‍මනස්‍යයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කෙවලදුඃඛ පුඤ්ජයාගේ නිරොධය වෙයි.

75. කණින් ශබ්ද අසා ප්‍රියරූපශබ්දයෙහි . . . ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ප්‍රිය රූපගන්‍ධයෙහි . . . දිවින් රස ආස්වාද කොට ප්‍රියරූප රසයෙහි . . . කයින් ස්පර්ශ පැහැස ප්‍රියරූපස්පර්ශයෙහි . . . මනසින් දහම් දැන ප්‍රියරූප ධර්‍මාලම්බනයෙහි රාග නො කෙරේ. අප්‍රියරූපධර්‍මාලම්බනයෙහි ව්‍යාපාද නො කෙරේ. එළඹසිටි කාගියාසී ඇතිව මාර්‍ගචිත්තසමන්විත ව වාස කෙරේ. යම් පලසමවතෙක දී ඒ ලමු අකුසල් දහම්හු නිඃශෙෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්ති ද ප්‍රඥාවිමුක්ති ද තත් වූ පරිදි දනී. හේ මෙසෙයින් අනුරොධවිරොධවිප්‍රහීණ වුයේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් වෙදනාවක් විඳුනේ වේද, හේ ඒ වෙදනා අභිනන්‍දනා නො කෙරේ, නො බෙණේ, ගැලගෙන නොසිටි. ඒ වෙයින අභිනන්‍දනා නොකරන, නොබණන, ගැලැගෙන නොසිටුනා ඔහට වෙදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහට නන්‍දිනිරොධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරොධයෙන් භවනිරොධ වෙයි. භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි. ජාතිනිරොධයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කෙවලදුඃඛපුඤ්ජයාගේ නිරොධය වෙයි.

76. මහණෙනි, තෙපි සැකෙවින් දෙසූ මාගේ මේ තණ්හාසඞ්ඛයවිමුත්තිය (විමුත්තිපටිලාභහෙතු වූ දෙසනාව) ධරව. කෙවුළුපුත් සාතිමහණ මහා තෘෂ්ණ දැලෙහි – මහා තෘෂ්ණා සඞ්ඝාටයෙහි (බන්‍ධනයෙහි) පිළිමුතුවකු (පිවිසියකු) කොට ධරවයි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාතණ්හාසඞ්ඛය සූත්‍රය වදාළසේක. සියමන (තුටුසිත්) ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.

මහාතණ්හාසඞ්ඛය සූත්‍රය අටවැනියි.

පිටු අංක 602 සිට 632 දක්වා

සූත්‍ර පිටකය මජ්‌ඣිම නිකාය මූල පන්නාසකය සීහනාද වර්ගය චුළදුක්ඛක්ඛන්ධ සූත්‍රය

සූත්‍ර පිටකය
මජ්‌ඣිම නිකාය
මූල පන්නාසකය
සීහනාද වර්ගය
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
චුළදුක්ඛක්ඛන්ධ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.

2. වහන්ස, “ලොභය චිත්තොපක්ලෙශයෙක, ද්වෙෂය චිත්තොපක්ලෙශයෙක, මොහය චිත්තොපක්ලෙශයකැ” යි භගවත්හු විසින් දෙසු දහම මෙසේ මම දීර්ඝරාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, “ලොභය චිත්තොපක්ලෙශයෙක, ද්වෙෂය චිත්තොපක්ලෙශයෙක, මොහය චිත්තොපක්ලෙශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලොභධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වෙෂධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මොහධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලොභධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වෙෂධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මොහධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්දෙහ සහිත සිත) යි.

3. මහානාමය, “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, ද්වෙෂධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, මෝහධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙ ම ලොභද්වෙෂමොහාඛ්‍යධර්‍මය තා සතන්හි නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලොභාදිධර්‍මය තා සතන්හි ප්‍රහීණ වී නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙහි. ද්විවිධකාමසම්පතුදු නො වළඳන්නෙහි. මහානාමය, යම් හෙයෙකින් හෙ ම ලොභාදිධර්‍මය තා සතන්හි අප්‍රහීණ වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයනුදු වළඳ කෙරෙහි.

4. මහානාමය, ඉදින් ආර්යයශ්‍රාවකයා විසින් “කාමයෝ (පරිත්තසුඛ වන බැවින්) අල්පාස්වාදයහ. (ඉහභවයෙහිදු සම්පරායභවයෙහිදු අනන්තදුඃඛදායක වන බැවින්) බහුදුඃඛයහ. ඓහලෞකික (පාරලෞකික උපායාසක්ලෙශසාධක වන බැවින්) බහුපායාසයහ. (දෘෂ්ටධාර්මික සාම්පරායික උපද්‍රවාධිෂ්ඨාන වන බැවින්) තෙල කාමසම්පතෙහි ආදීනව බෙහෙවැ” යි මෙසෙයින් යථාස්වභාවය මනා නය විසින් ප්‍රඥායෙන් (සොවන් සෙදගැමි දෙමඟනැණින්) මනා කොට දක්නා ලදුයේ වෙයි. හෙ අරීසවු දු කාමයන් විනා මැ ලමු අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය (සප්‍රීතික දෙ දැහැන) අධිගම නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදැහැන හා දෙමඟ හා) අධිගම නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තිත ම වන්නේ ය. සෙසු දැහැනින් කරන විෂ්කම්භන ප්‍රහාණය හා මතු දෙමඟනැණින් කරන සමුච්ඡෙදප්‍රහාණය හා නැති හෙයින.)

5. මහානාමය, යම්කලෙක ආර්යයශ්‍රාවකයා විසින් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයවිසින් විදර්ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වේ. හෙ ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා ම ප්‍රීතිසුඛය අධිගම කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)

6. මහානාමය, මාර්‍ගසම්බොධයෙන් පළමු මැ චතුස්සත්‍යාවබොධ නොකළ බෝසත් වැ සිටි මවිසුනු දු “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනානයින් (ඇතොරනළුදනා හැරැපියන) ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වෙයි. මම ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම නො කෙළෙම් වේ ද, එ වරා, ශාන්තතර අනෙකෙක් හෝ (මතු දෙදැහැන හා සතර මඟ හා) අධිගම නොකෙළෙම් වේ ද, වැළිත් මම එතැන් දක්වා “කාමයෙහි අනාවර්තීයෙමි” යි නො මැ පිළින කෙළෙමි.

7. මහානාමය, යම්කලෙක් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහූපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුල යැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයින් ප්‍රඥායෙන් දක්නා ලදුයේ වී ද, මම ද කාමයන් විනාමැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම කෙළෙම් වෙම් ද, එ වරා ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙළෙම් වෙම් ද, එකල මම “කාමයෙහි අනාවර්තීයෙමි”යි පිළින කෙළෙමි.

8. මහානාමය, කාමයන්ගේ ආස්වාද කවරේ ය? මහානාමය, මෙ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස්දෙනක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමොපසංහෘත වූ සිත්රඳනට නිසි වූ චක්‍ෂුර් විඥෙය රූපායතනයෝ ය… ශ්‍රොතවිඥෙය ශබ්දායතනයෝ ය… ඝ්‍රාණවිඥෙය ගන්‍ධායතනයෝ ය… ජිහ්වාවිඥෙය රසායතනයෝ ය, ඉෂ්ටාරම්මණවූ මනාපවූ ප්‍රියරූපවූ කාමොපසංහෘතවූ, රජනීයවූ, කායවිඥෙය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ ය. මහානාමය, මොහු පඤ්චකාමගුණයෝ යි. මහානාමය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් හෝ සොම්නසෙක් හෝ උපදනේ වේ ද මේ කාමයන්ගේ ආස්වාද නම් වෙයි.

9. මහානාමය, කාමයන්ගේ ආදීනව කවරේ ය? මහානාමය, මෙලොවැ කුලපුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේව යි, ගණනායෙන් වේව යි, පිණ්ඩගණනායෙන් වේව යි, කෘෂිකර්‍මයෙන් වේව යි, වෙණෙදාමෙන් වේව යි, ගොරක්‍ෂායෙන් වේව යි, අවි වටනින් වේව යි, රාජපුරුෂකර්‍මයෙන් වේව යි, ශීතයට පුරෂ්කෘත වැ (ශීතයට පෙරට වැ) උෂ්ණයට පුරෂ්කෘත වැ මැසි මදුරු වාසුළඟසපු යන මුන්ගේ දළපහසින් ගැටෙමින් සාපවසින් මියමින් යම්මැ ශිල්පයෙකින් දිවිවැටුම කෙරෙයි. මහානාමය, කාමයන් පිළිබඳ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් පිළිබැඳි මැ හෙතු ඇති වෙයි.

10. මහානාමය, ඉදින් මෙසෙයින් (ආජීවසමුත්‍ථාපක වීර්යයෙන් උසා කරන, (පූර්වාපරවීර්යය) ඝටනා කරන, ඵලනිෂ්පත්ති සඳහා පියෝ කරන, ඒ කුලපුත්හට ඒ භොගයෝ පලදාවිසින් අභිනිෂ්පත්ති නො කෙරෙත් නම්, හෙ සොන්නේ ය. කළ කිරෙන්නේ ය. වලපන්නේ ය. ළමිඩියෙහි අත් පුනපුනා පැහැර හඬන්නේ ය. (විසංඥයකු සෙයින්) සම්මොහයට වදනේ ය. කෙසේ ය යත්: “එකැතින් මා උසා සිස් වී. එකැතීන් මා උසා අඵල වී” කියා යි. මහානාමය, කාමයන්ගේ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් මැ හෙතු කොට ගෙන පවත්නේ ය.

11. මහානාමය, ඉදින් මෙසෙයින් උසා කරන, ඝටනා කරන, පියෝ කරන, ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ පලදා විසින් නිපදිත් නම්, හෙ ඒ භොගයන්ගේ ආරක්‍ෂා කාරණ කොට ගෙන දුක් දොම්නස් වළඳ කෙරෙයි. කෙසේය යත්: “කිනම් උපායෙකින් මා අයත් භොගයන් රජදරුවෝ නො ම ගෙන යෙත් ද, සොරු නොගෙන යෙද් ද, ගිනි නො දවා ද, දිය උල්පවා නො වහා ද, අප්‍රියදායාදයෝ නො නෙරත් ද” කියා යි.

12. මෙසෙයින් ආරක්‍ෂා කරන, ගොපනා කරන, උහුගේ ඒ භොගයන් රජදරුවෝ ගෙන යෙත්. සොරු හෝ ගෙන යෙත්. ගිනි හෝ දවයි. දිය හෝ පා කෙරෙයි. අප්‍රිය දායාදයෝ හෝ නෙරත්. හෙ සොස්නේ ය, කළකිරෙන්නේ ය, වලප්නේ ය, ළමිඬියෙහි අත් පැහැර හඬන්නේ ය, සම්මොහයට වදනේ ය. කෙසේය යත්: “යම් ධනයෙක් මට වී ද, එ ද අපට නැති වී” කියා යි. මහානාමය, මෙද කාමයන්ගේ ආදීනවය, ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල්කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හෙතු කොට ගෙන පවත්නේ ය.

13. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතු කොට රජදරුවෝ ද රජදරුවන් හා විරුද්ධ වාද කෙරෙත් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා විවාද කෙරෙත්. බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙත්. ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙත්. මවුදු පුතු හා විවාද කෙරෙයි. පිත් ද මවු හා විවාද කෙරෙයි. සොහොවුරු දු සොහොවුරු හා විවාද කෙරෙයි. සොහොවුරු ද බින්හැඹු හා විවාද කෙරෙයි. බින්හැඹු දු බෑයා හා විවාද කෙරෙයි. යහළු දු යහළු හා විවාද කෙරෙයි. ඔහු එහි කලහවිරුද්ධග්‍රහණ විරුද්ධවාදයට අවන්නාහු උනුන් අතිනුදු පහරත්. කැටිනුදු පහරත්. දඩියෙනු දු පහරත්. සැතිනුදු පහරත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කාමයන්ගේ මෙද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හෙතු කොට ගෙන පවත්නේ ය.

14. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතු කොට සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබමොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ, දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට පිවිසෙති. ඔහු එහි දි ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කමායන්ගේ මෙද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් හෙතු කොට ගෙන පවත්නේ ය.

15. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට කාමයන් මැ හෙතු කොට, සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබ මොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ තෙත්කලල් අලෙවු දුන් පවුරු පදනමට පැහැ ගනිත්. ඔහු එහි දී ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කකියන ගොමිනු දු තෙමත් ශත දන්තයෙනුදු අවමර්දන කෙරෙත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙත්. මහානාමය, මෙ ද කාමයන්ගේ ආදිනවය වෙයි. සාංදෘෂ්ටික දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ඇති වෙයි කාමයන් කාරණ කොට ඇති වෙයි. කාමයන් පිළිබැඳි මැ හෙතු ඇතියේ වෙයි.

16. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතු කොට, උමඟ ද සිඳිත්. නිර්ලොප (ගම්පැහැරිම්) කොට නෙරත්. ජීවග්‍රාහයෙන් ගෙනැ ධන නෙරිම් ද කෙරෙත්. මඟනැහිමෙහිදු සිටිත් පරඹුන් කරා ද යෙති. රජදරුවෝ උහු ගෙන විවිධ කම්කටොලු කෙරෙති: කටුමතිගායෙනු දු තළත්. වේවැලිනුදු තළත්. අත ද සිඳිත්. පය ද සිඳිත්. අත්පා ද සිඳිත්. කන ද සිඳිත්. නැහැය ද සිඳිත්. කන්නැහැ ද සිඳිත්. බිළඞ්ගථාලිකවධ ද කෙරෙත්. සඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත්. රාහුමුඛවධ ද කෙරෙත්. ජොතිමාලිකවධ ද කෙරෙත්. හත්ථපජ්ජොතිකවධ ද කෙරෙත්. ඵරකවත්තිකවධ ද කෙරෙත්. චීරකවාසිකවධ ද කෙරෙත්. එණෙය්‍යකවධ ද කෙරෙත්. බළිසමංසිකවධ ද කෙරෙත්. කහාපණක වධ ද කෙරෙත්. ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත්. පලිඝපරිවත්තිකවධ ද කෙරෙත්. පලාලපීඨකවධ ද කෙරෙත්. තප්තතෛලයෙනුදු තෙමත්. කීණබල්ලන් ලවා කවත්. දිවස් හුලැ හිඳුවත්. දඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද වැදගනිත්. මරණමාත්‍රදුඃඛයට ද යෙත්. මහානාමය, මෙද කාමාදිනවය, සාන්දෘෂ්ටික දුඃඛස්කන්‍ධයෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් පිළිබැදි මැ හෙතු ඇතියේ වෙයි.

17. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට කාමයන් කරණ කොට, කාමයන් මැ හෙතුකොට, කයින් දුසිරිත් කරත්. වචනයෙන් දුසිරිත් කරත්. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් පුරා, වචනයෙන් දුසිරිත් පුරා, සිතින් දුසිරිත් පුරා, කාබුන් මරණින් මතු සැපයෙන් වෙන් ව සිටුනා නපුරුගතියක් වන විවසව වැ වැටෙන තැන් වන නිරයට එළඹෙත්. මහානාමය, මේ කාමාදිනවය සාම්පරායිකදුඃඛ ස්කන්‍ධයෙකි. කාමයන් ප්‍රත්‍යය කොට ඇත. කාමයන් මුල් කොට ඇත. කාමයන් කාරණ කොට ඇත. කාමයන් පිළිබැඳි මැ හෙතු ඇතියේ වෙයි.

18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලිපවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇති වැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවෙදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එනුවටුන් කරා එළැඹයෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇති වැ නැඟිට සිටිනහු තිව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවෙදනාවන් විඳුනාව? කියා යි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශෙෂ සඞ්ඛ්‍යාත ඥානදර්ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූ ද, සිටුනු වූ ද, නිදනු වූ ද, නිදිවරනු වූ ද, මට හැමකල් නිරතුරු ඥානදර්ශනය එළඹ සිටුනේ ය කියා” යි. හෙ මෙසේ කියයි: “නුවටුනි, පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව් ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නො කිරීමෙනු දු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නො වෙයි. මතුයෙහි අනාස්‍රව හෙතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හෙතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හෙතුයෙන් වෙදනාක්‍ෂය වෙයි. වෙදනාක්‍ෂය හෙතුයෙන් හැම දුක් නිර්ජීර්ණ වෙයි.” එද වනාහි අපට රුස්නේ හැ. සහනු ද වෙයි. එයිනුදු අපි සතුටු වම්හ යි.

19. මහානාමය, මෙසේ කීකල මම එ නුවටුනට තෙල කීයෙමි: ඇවැත්නි, නුවටුනි, “අපි පෙර වූමෝ ම යැ. නුවූමෝ නො වූම්හ”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙසේ අපි නොදනුම්හ. ඇවැත්නි නුවටුනි, “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ. නොකළාවමෝ නො වූම්හ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්. ඇවැත්නි, නුවටුනි, “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරුණුකල දුක් හැම නිර්ජීර්ණ වනුයේ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, මෙසෙයින් තෙපි “පෙර වූවෝ මය, නුවූවෝ නො වූම්හ” යි නො දනුව. “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ, නොකළාවමෝ නො වූම්හ” යි නො දනුව. “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි නො දනුව. “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතු ය. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ දුක් හැම නිර්ජීර්ණ වනුයේ ”යැ යි නො දනුව. “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති” යි නො දනුව. ඇවැත්නි, නුවටුනි, මෙසේ වත් මැ, ලොකයෙහි රෞද්‍ර, ලෙහෙයෙන් වැකුණු අත් ඇති, කැකුළුකම් ඇති, මිනිසුන් කෙරෙහි උපන් යම් කෙනෙක් ඇත් ද, ඔහු නුවටුන් කෙරෙහි පැවිදි වෙති.

20. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය (ලැබිය යුතු) නොවේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධෙශ්වර වන, සෙනා ඇති, දැකුම්කලු අත් බැව් ඇති බිම්සර රජ සුඛය ලබන්නේ යැ. මගධෙශ්වර වන බිම්බිසාර සෙනිය රජ ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා අත්‍යර්ථයෙන් සුඛවිහාර ඇතියේ යැ.

21. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධෙශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සෙනියරජ සුඛය ලබන්නේ යැ. මගධෙශ්වර වන බිම්බිසාර සෙනිය රජ ආයුෂ්මත් ගොයුම් ගොතුවනට වඩා අත්‍යර්ථයෙන් සුඛවිහාර ඇතියේ යැ” යි ආයුෂ්මත් නුවටුන් විසින් එකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියන ලද.

22. වැළිදු මම මැ එකරුණෙහි ලා (තොප විසින්) පිළිවිසිය යුතුයෙමි. කෙසේ ය: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකතර සුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.

23. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම් මගධෙශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සෙනියරජ සුඛය ලබන්නේ ය. ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ අධිකසුඛවිහරණ ඇතියේ යැ” යි ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, අප විසින් එකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියනලද මැයි. වැළිත් තෙල තිබේවා. දැන් වේව යි අපි ආයුෂ්මත් ගොයුම්ගොතුවන් විචාරම්හ: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකසුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.

24. ඇවැත්නි, නුවටුනි, එකරුණින් තොප මැ එහිලා පුළුවුසුම්හ: යම් පරිදි තොපට රිසියේ ද, එපරිදි එය පවසව. ඇවැත්නි, ඒ කිමැ යි හඟනාව? මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් සත් දවරැයක් නරතුරි සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ. ඇවැත්නි, ඒ කිමැයි හඟනාව? මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නො බෙණෙමින් දවරැය සයක්… විහරණ කරන්නට හැකියේ ද?… දවරැය පසක්… දවරැය සතරක් … දවරැය තුනක් … දවරැය දෙකක්… එක් දවරැයක් … නරතුර සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ.

25. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් එක් දවරැයක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරැය දෙකක්… දවරැය තුනක්… දවරැය සතරක්… දවරැය පසක් … දවරැය සයක්… දවරැය සතක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, ඒ කිමැ යි සිතන්නාව? මෙසෙයින් වත් මැ කවරෙක් නම් අධික සුඛවිහරණ ඇතියේ වේ ද, මගධෙශ්වර බිම්බිසාර සෙනියරජ හෝ යැ, මම් හෝ ය? මෙසෙයින් වත් මැ මගධෙශ්වර බිම්බිසාර සෙනියරජුට වඩා ආයුෂ්මත් ගොයුම්ගොතුවෝ අධික සුඛවිහරණ ඇතියහ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසුත වදාළහ. සතුටුසිත් ඇති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට පිළි ගත්තේ ය.

චූළදුක්ඛක්ඛන්‍ධසූත්‍රය සතරවැනි යි.

පිටු අංක 214 සිට 226 දක්වා

සූත්‍ර පිටකය මජ්‌ඣිම නිකාය මූල පන්නාසකය සීහනාද වර්ගය මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය

සූත්‍ර පිටකය

මජ්‌ඣිම නිකාය

මූල පන්නාසකය

සීහනාද වර්ගය

ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.

මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට මෙවැනි අදහසෙක් වීය: ‘පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ අරමට පැමිණනේනෙමු නම් මැනැවැ’යි.

2. ඉක්බිති ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළැඹියහ. එළැඹැ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් කාමයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණිය පනවයි. අපි ද රූපයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදෙශනා සමඟ ධර්‍මදෙශනා ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධික ප්‍රයොග කවරේ ද? නානාකාරණය කුමක් ද?

3. එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙවු ද නො කළහ. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු”යි හුනස්නෙන් නැගිට ගියාහු ය.

4. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළඹෙන්නමු නම් මැනැවැ’යි. වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රාහාණය පනවයි. අපි දු කාමයන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපි දු රූපයන්ගේ ප්‍රාහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපි දු වෙදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදෙශනාව සමග ධර්‍මදෙශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධිකප්‍රයොගය කවරේ ද? නා නා කාරණය කුමක් දැ? යි. එකල්හි වහන්ස, ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගතිමු. පිළිකෙවු ද නො කෙළෙමු. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි හුනස්නෙන් නැගිට ගියෙමු.

5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.

6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂූර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ… ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ… ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ… රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමොපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.

7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලොකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුලං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

8. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම ‘එකාන්තයෙන් මාගේ උත්සාහය හිස් විය මාගේ ව්‍යායාමය නිෂ්ඵලය ’යි ශොක කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස ද කාමය හෙතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

9. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ මනා ව නිපැදෙත් නම්, හෙතෙමේ කෙසේ මාගේ මේ භොගයන් රජවරු පැහැර නො ගන්නාහු ද, හොරු පැහැර නො ගන්නාහු ද, ගින්න නො දවා ද, දිය පා කොට නොහරී ද, අප්‍රිය දායාදයෝ (දූපුත්හු) පැහැර නො ගන්නාහු දැ’ යි ඒ භොගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දොම්නස් විඳී. මෙසේ රකින ගොපනය කරන ඔහුගේ ඒ භොගයන් රජවරු හෝ ගනිත්. හොරු හෝ ගනිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරියි. අප්‍රිය දායාදයෝ හෝ ගනිත්. හෙතෙම ‘යමක් මට වී ද, එය ද අපට නැති වී’ ය යි ශොක කරයි. වෙහෙසෙයි. වැලැපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හේතුවෙන් වෙයි.

10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද රජුන් සමග විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරයා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරිය සමඟ විවාද කරයි. සහොදරිය ද සහොදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති. මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක් රැස ම කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළනු ලබන කල්හි කඩු ඔබමොබ පෙරළෙන කල්හි කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණබිමට වදිත්. ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිත්. කඩුවෙන් ද හිස සිඳිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින්ම දැක්ක යුතුවූ මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හෙතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළෙන කල්හි කඩු පෙරළෙන කල්හි කඩු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන තෙත් මඩ අලෙවි කළ පවුරු පදනම්වලට පනිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිති. කකියන ගොමින් ද ඉසිති. ශතදන්ත යෙනුදු මඩිති. කඩුවෙන් ද හිස සිඳීති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ගෘහසන්‍ධි සිඳිති. ගම් පහරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන ධනය ගෙන්වා ගනිති. මං පහරති. පරඹූව ද කරා යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන නන්වැදෑරුම් කම්කටොලු කරති. කසවලින් ද තළත්. වේවැල්වලින් ද තළත්. මුගුරු වලින් ද තළත්. අත ද සිඳිත්. පා ද සිඳිත්. අත් පා ද සිඳිත්. කන ද සිඳිත්. නාසය ද සිඳිත්. කන්නාසා ද සිඳිත්. ඛිලඞ්ගථාලිකය (හිස්කබල කැඳසැළියක් මෙන් කරන කර්‍මය) කරති. ශඞ්ඛමුණ්ඩිකය (හිස්කබල බොරළු උළා දොවා හක් මුඩුවක් මෙන් කරන කර්‍මය) ද කරවති. රාහුමුඛය (අඬුවෙන් මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීමෙන් කරන කර්‍මය) ද කරති. ජොතිමාලිකය සිරුරෙහි තෙල්පිළී ඔතා ගිනි දැල්වීමෙන් කරන කර්‍මය ද කරති. හත්‍ථපජ්ජොතිකය (අත් තෙල්පිළියෙන් වෙළා ගිනි දැල්වීමෙන් කරන කර්‍මයද) කරති. එරකවත්තිකය (ගෙලෙහි යටපටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා යොතින් බැඳ අදිමින් කරන කර්‍මය) ද කරත්. චීරකවාසිකය (ගෙල පටන් සම ගලවා කටියෙහි ද කටියෙහි පටන් සම ගලවා ගොප්ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කර්‍මය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිටෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කර්‍මය) ද කරති. බළිසමංසික (දෙපස කටු ඇති ඇවුලුම් බිළියෙන් ඇන සම්මස් නහර උපුටා ලන කර්‍මය) ද කරති. කහාපණකය (මුළු සිරුර තියුණු වෑයෙන් කහවණු පමණ කොට සසින කර්‍මය) ද කරති. ඛාරාපතව්ඡිකය (අවියෙන් සිරුරෙහි තන්හි තන්හි පහරා කාරම ඉසීමෙන් කරන කර්‍මය) ද කරත්. පලිඝපරිවත්තිකය (එක් ඇළයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සවි කොට පය ගෙන සිසාරවන කර්‍මය) ද කරති. පලාලපීඨකය (සිරුරෙහි සිවිසම් නොසිඳ ඇඹැරුම් ගලින් ඇට බිඳ පිදුරු බිස්සක් මෙන් කරන කර්‍මය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණබල්ලන් ලවා ද කවති. දිවිඇතියහු හුල හිඳුවති. කඩුවෙනුදු හිස සිඳති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හෙතු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

14. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් කයින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්රැස කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

15. මහණෙනි, කාමයන්ගේ නිස්සරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ඡන්‍දරාගවිනයෙක්, ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ කාමයන්ගේ නිස්සරණය වේ.

16. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද, තතු සේ නොදනිත් ද, “ඔහු එකාන්තයෙන් තුමූ හෝ කාමයන් විදසුන් විසින් පිරිසිඳ දන්නාහු ය. යම්සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ දනිත් ද, “ඔහු එකාන්තයෙන් තුමූ හෝ කාමයන් පිරිසිඳ දන්නාහු ය. යම් සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම් එබඳුබව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන වේ.

17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.

18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසූ හැවිරිදි වූ හෝ අනූ හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්ණ වූ ගොනැස්සක් සේ වක් වූ බිඳුණා වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රොගී වූ පහ වූ යොවුන් ඇති කඩදත් ඇති පැසුණු කෙහෙ ඇති වැටුණු කෙහෙ ඇති පැතැටි වූ වලයිත වූ (හටගත් ඇඟ රැළි ඇති) තලකැලලින් ගැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේය. මහණෙනි, මෙද රූපයන්ගේ ආදීනවය යි.

19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රොගී වූ දුඃඛිත වූ දැඩි ගිලන් වූ තමාගේ ම මලමූයෙහි ගැලී හොවින මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිඳවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වර්ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.

20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් පූයා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහුද? පෙර වූ යම් ශුභවූ වර්ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනව ය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නා වූ ගිජුළිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ විවිධ වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක්වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්ණයෙක් වී ද එය අතුරුදහන් වී ද? ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු … ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු … ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු … අන් තැනෙක අත්ඇට ය, අන් තැනෙක පාඇට ය, අන් තැනෙක දඟඇට ය, අන් තැනෙක කලවා ඇට ය, අන් තැනෙක උකුළු ඇටය, අන් තැනෙක පිටකටුව, අන් තැනෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදසැ විසුරුණු ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්ණයෙක් වී ද, එය අතුරු දහන් වී ද, ආදීනවය පහළ වීද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

23. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, සුදු වූ සක්වන් පැහැ ඇට ඇති… අවුරුදු ගණන් ඉක්ම ගියාවූ රැස් වූ ඇට ඇති… කුණු වූ සුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්ණයෙක් වී ද එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

24. මහණෙනි, රූපයන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, රූපයන්හි වූ යම් ඡන්‍දරාග විනයයෙක් යම් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයන්ගේ නිස්සරණය යි.

25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ නොදනිත් ද, ඔහු එකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දනිත් ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතු සේ දනිත් ද, ඔහු එකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දන්නා හු ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.

26. මහණෙනි, වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්හට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි. එකල නිදුක් වූ වෙදනාවක් ම විඳියි. මහණෙනි, මම වෙදනාවන්ගේ ආස්වාදය නිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.

27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම කරන සිතේ එකඟ බව වූ විතර්ක රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීය ධ්‍යානයට… තෘතිය ධ්‍යානයට … චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්‍රහාණියෙන් ද දුඃඛප්‍රහාණියෙන් ද පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපෙක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි තමාට ද දුක් පිණිස නො සිතා ම ය. අන්හට ද දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නොසිතා ම ය. එකල්හි නිදුක් වූ ම වෙදනාව විඳියි. මහණෙනි, මම වෙදනාවන්ගේ ආස්වාදය නිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.

28. මහණෙනි, වෙදනාවන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, යම් හෙයෙකින් වෙදනාව අනිත්‍ය ද දුක් ද පෙරළෙනසුලු ද, මේ වෙදනාවන්ගේ ආදීනව ය යි.

29. මහණෙනි, වෙදනාවන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, වෙදනාවන්හි යම් ඡන්‍දරාග විනයයෙක් වේ ද, ඡන්‍දරාග ප්‍රහාණියෙක් වේ ද, මෙය වෙදනාවන්ගේ නිස්සරණය යි.

30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වෙදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ නොදනිත් ද, ඔහු එකාන්තයෙන් තුමු හෝ වෙදනාවන් පිරිසිද දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වෙදනාවන් පිරිසිද දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වෙදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ දනිත් ද, ඔහු එකාන්තයෙන් තුමූ හෝ වෙදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වෙදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත්‍රය තෙවැනි යි.

පිටු අංක 200 සිට 214 දක්වා

සූත්‍ර පිටකය මජ්‌ඣිම නිකාය මූල පන්නාසකය සීහනාද වර්ගය මහාසීහනාද සූත්‍රය

සූත්‍ර පිටකය
මජ්‌ඣිම නිකාය
මූල පන්නාසකය
සීහනාද වර්ගය
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
මහාසීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානගර සමීපයෙහි බිහිනුවර නුවරින් පෑළදිග වනලැහැබෙහි වැඩ වසන සේක. ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මේ ශාසනයෙන් නික්ම ගිය නොබෝකල් ඇති වෙයි. හෙ විශාලාමහනුවර පිරිස් මැද මෙසෙයින් තෙපලයි: “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය පිණිස සමර්‍ථවූ ඥානදර්‍ශන විශේෂයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් පර්යාගත (ගැටුම්) කොට විමසුම් නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු වු දහමක් දේශනා කරයි. (එහෙත්) යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය දේශිත පරිදි කරනුවාගේ දුක් මැනැවින් නස්නා පිණිස වැටේය” කියා යි.

2. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු සිවුරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන විශාලානුවරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුම් කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය” යි විශාලානුවර පිරිස් මැද මෙබඳු වචන කියන ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්තයාගේ කථාව ඇසූහ.

3. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසල්පුර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මෙ සස්නෙන් පහව ගිය විරූ නොබෝකල් ඇත්තෙක. විශාලා නගරයෙහි පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගටා විමසුමෙන් එළවා ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි මෙබඳු වචනයක් කියයි.

4. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂ ක්‍රොධ කරන සුලුය. ක්‍රොධ හේතුයෙන් තුලුන් විසින් මේ වචනය කියන ලදි. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත මොඝපුරුෂ ‘නුගුණ කියමි’ යි තථාගතයන්ගේ ගුණයක් ම කියයි. ශාරිපුත්‍රය, “තථාගතයන් විසින් යම් අර්‍ථයක් පිණිස යමකුට ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නාහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි යමෙක් කියා නම්, එය තථාගතයන්ගේ ගුණයෙක් ම ය.

5. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාහට – “මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්‍මයෙන් හා යුක්තයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථීහ. දෙවිමිනිසුන්ගේ ශාසතෘයහ. බුද්ධයහ. භගවත්හ” යි මා කෙරෙහි මේ (සර්‍වඥතාඥාන සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනීමෙහි සමර්‍ථ ඥානය වූ) ධර්‍මාන්‍වය ද නො වෙයි.

6. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාහට – “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනු දු නන්වැදැරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති: එකෙක් වූහු බොහෝ ව මැවෙත්. බොහෝ වූවාහු ම එකෙක් ව මැවෙත් ප්‍රකට භාවයට අප්‍රකට භාවයට පත්වන සේක. බිත්තියෙන් පිටත පවුරෙන් පිටත පව්වෙන් පිටත අහසෙහි යනුවන් මෙන් නොගැටෙමින් යන සේක. ජලයෙහි සෙයින් පොළොවෙහි ද ඉල්පීම් ගැලීම් කරන සේක. පොළොවෙහි සෙයින් නොබිඳෙන දියෙහි ද යන සේක. අහසෙහි ද පක්‍ෂීශකූනීන් සෙයින් පර්යඞ්කයෙන් යන සේක. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා කරතලයෙන් පරාමර්‍ශන කරන සේක. පිරිමදින සේක. බඹලොව ද තෙක් කයින් විසිය පවත්වන සේකැ”යි මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය (ඍද්ධිවිධඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා ඥානය) ද නො වෙයි.

7. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාහට මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය ද (දිව්‍ය ශ්‍රොතධාතුඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනගන්නා ප්‍රඥා) නො වෙයි. එනම්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් ඉතා පිරිසිදු මිනිසැස ඉක්ම වූ දිව්‍ය ශ්‍රොතධාතුවෙන් දෙවියන් පිලිබඳ වුත් මිනිසුන් පිලිබඳ වුත් දුරැ වුත් සමීප වුත් ද්විවිධ ශබ්දයන් අසන සේකැ” කියා ය.

8. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මොඝපුරුෂයාට – “භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැන ගන්නා සේක. රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැ යි දන්නා සේක. රාග රහිත වූ හෝ සිත රාග රහිත සිතැ යි දන්නා සේක. ද්වෙෂ සහිත වූ හෝ සිත ද්වෙෂ සහිත සිතැ යි දන්නා සේක. ද්වෙෂ රහිත වූ හෝ සිත ද්වෙෂ රහිත සිතැ යි දන්නා සේක. මොහ සහිත වූ හෝ සිත මොහ සහිත සිතැ යි දන්නා සේක. මොහ රහිත වූ හෝ සිත මොහ රහිත සිතැ යි දන්නා සේක. (ථීනමිද‍ධයෙන්) සංක්‍ෂිපත වූ හෝ සිත සංක්‍ෂිපත වූ සිතැ යි දන්නා සේක. (උද්ධච්චයෙන්) වික්‍ෂිපත වූ හෝ සිත වික්‍ෂිපත වූ සිතැ යි දන්නා සේක. මහග්‍ගත වූ හෝ සිත මහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. අමහග්‍ගත වූ හෝ සිත අමහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. සඋත්තර වූ හෝ සිත සඋත්තර වූ සිතැ යි දන්නා සේක. නිරුත්තර වූ හෝ සිත නිරුත්තර වූ සිතැ යි දන්නා සේක. සමාහිත වූ හෝ සිත සමාහිත වූ සිතැ යි දන්නා සේක. අසමාහිත වූ හෝ සිත අසමාහිත වූ සිතැ යි දන්නා සේක. විමුත්ත වූ හෝ සිත විමුත්ත වූ සිතැ යි දන්නා සේක. අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත වූ සිතැ යි දන්නා සේකැ”යි මෙසේ මා කෙරෙහි ඇති මේ (චෙතොපරියඤාණ සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා) ඥානය ද නො වෙයි.

9. ශාරිපුත්‍රය, යම් බඳු බලයන්ගෙන් යුත් තථාගත තෙම ශ්‍රේෂ‍ඨ ස්ථානය (තමන් වහන්සේ කෙරෙහි ඇතැයි) ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ එබඳු තථාගත බල දසයෙක් වෙයි. කවර දසයෙක් ද යත්: ශාරිපුත්‍රය, මෙහි තථාගත තෙමෙ කාරණය කාරණය වශයෙන් ද අකාරණය අකාරණය වශයෙන් ද තතු ලෙස දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ කාරණය කාරණය වශයෙනුත් අකාරණය අකාරණය වශයෙනුත් තත් වූ පරිදි දනී යන යමක් ඇද්ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ ස්ථානාස්ථානඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

10. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අතීත අනාගත වර්‍තමාන කර්‍මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයකින් තථාගත තෙමේ අතීතඅනාගතවර්‍තමාන කර්‍මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ කර්‍මවිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

11. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී (නිරයාදී හැම තැන් යන) ප්‍රතිපදාව තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී ප්‍රතිපදාව තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

12. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අනෙකධාතු නානාධාතු ලොකය තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අනෙකධාතු නානාධාතු ලොකය තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

13. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

14. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා (වෘදධිය හානිය) තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

15. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ධ්‍යාන විමොක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම ද පිරිසිදු බව ද එයින් නැගී සිටීම ද තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ධ්‍යාන විමොක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකෙ‍ලශ ව්‍යවදාන ව්‍යූත්‍ථාන තතුසේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

16. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ නන් වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කෙරෙයි. එනම්: එකජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියක් දහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් හටගන්නා කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද “අසුවල් තැන උපන්නෙමි. මේ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගොත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි වර්‍ණ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙවැනි සැප දුක් වින්දෙම් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහි දී ද මෙනම් ඇත්තෙකිමි මෙනම් ගෝත්‍ර ඇත්තෙකිමි මෙවැනි වර්‍ණ ඇත්තෙකිමි මෙවැනි සැප දුක් වින්දෙකිමි මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි.” මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කරයි. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ නන්වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කෙරේ ද, එනම් ජාති එකක් ද ජාති දෙකක් ද … මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ ද, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

17. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු පහත් උසස් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්‍වයන් දක්නේය: “කම් වූ පරිදි මිය පරලොව ගිය සත්‍වයන් දන්නේය. මේ භවත් සත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්‍චරිතයෙන් යුක්ත වුවාහුය. වාග්දුශ්‍චරිතයෙන් යුක්ත වුවාහුය. මනොදුශ්‍චරිතයෙන් යුක්ත වුවාහුය. අර්යයෝපවාදය කළාහුය. මිථ්‍යාදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නරකයට ඉපදීම් වශයෙන් පැමිණියාහුය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වුවාහුය. වාග්සුචරිතයෙන් යුක්ත වුවාහුය. මනොසුචරිතයෙන් යුක්ත වුවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නො කළාහුය. සම්‍යග්දෘෂ්ටිකයෝය. සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු සුගති නම් වූ ස්ව‍ර්‍ගලෝකයට ඉපදීම් වශයෙන් පැමිණියාහු ය.” මෙසේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු දිවැසින් මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

18. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව නැති චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට‍ පැමිණ වාසය කරන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ආස්‍රවයන් නැති වීමෙන් ආස්‍රව නැති චෙතොවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට‍ පැමිණ වාසය කෙරේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

19. ශාරිපුත්‍රය, යම් බඳු බලයෙකින් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ දශ තථාගත බලයෝ යි.

20. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා මෙසේ දක්නා මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍වූ ඥානදර්‍ශනයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කපර්යාහත කොට විමසන නුව‍ණින් ලුහුබැඳ ගත්, සිය වටහනු දහමක් දේශනා කෙරේ” ය යි කියා නම්, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ ය. ශාරිපුත්‍රය, සීලසම්පන්න සමාධිසම්පන්න මහණ යම්සේ ඉහාත්මයේ දී ම රහත් බවට පැමිණේද, ශාරිපුත්‍රය, මේ කාරණය ද මෙසේය යි කියමි: ඒ කීම නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ වේ.

21. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුත් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ මේ සතර දෙනෙක් වෙත්. ඒ කවර සතර දෙනෙක යත්:

22. “සම්‍යක්සම්බුද්ධයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මෙනම් ධර්‍මයෝ අවබෝධ නොකරන ලද්දාහු ය, යි එහි ලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ සකාරණයෙන් මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, මම නොදක්මි. ශාරිපුත්‍රය, “මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි”.

23. ක්‍ෂීණාස්‍රවයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මේ ආස්‍රවයෝ ක්‍ෂය නොකරන ලදහ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

24. “මාර්‍ගඵලයන්ට අන්තරායකර යම් ධර්‍ම කෙනෙක් තොප විසින් ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ ධර්‍මයන් සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො පවත්නාහු ය” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

25. “තොප විසින් යම් අර්‍ථයක් පිණිස ධර්‍මය දේශනා කරන ලද නම්, ඒ ධර්‍මය ඊට අනුව පිළිපදින්නහුගේ මැනවින් දුක් කෙළවර කිරීම පිණිස නොවන්නේ යැ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම් නිර්භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

26. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂ‍ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ‍ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ සතරහු තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ යි.

27. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍වූ ඥානවිශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය සියවටහනු දහමක් දේශනා කෙරේ” ය යි මෙසේ කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන අවුත් තබන ලද්දක් සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්‍හත්‍වය ලබාද, මේ කාරණය ත් එසේ ය යි කියමි. ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදනේ වේ.

28. ශාරිපුත්‍රය, මේ පිරිස් අටෙකි. කවර අටෙක් ද යත්: කැත් පිරිස ය, බමුණු පිරිසය, ගැහැවි පිරිසය, මහණ පිරිසය, සිවුමහරැජි පිරිසය, තව්තිසා පිරිසය, මාර පිරිසය, බඹ පිරිසය. ශාරිපුත්‍රය, මේ සිවු වෙසරඳ බැවින් යුත් තථාගත තෙමේ මේ අටපිරිස ම කරා එළඹෙයි, පිවිසෙයි.

29. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් කැත්පිරිස් වෙතට පැමිණියෙමි යි දනිමි. එපිරිස්හි මා හුන්විරූ ද කථාකළ විරූ ද සාකච්ඡා කළ විරූ ද වෙයි. ශාරිපුත්‍රය, එහි දී ඒකාන්තයෙන් මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේ යැ යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම්, නිර්භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

30. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් බමුණු පිරිස් වෙත … ගැහැවි පිරිස් වෙත … මහණ පිරිස් වෙත … සිවුමහරැජි පිරිස් වෙත … තව්තිසා පිරිස් වෙත … මාර පිරිස් වෙත … බඹ පිරිස් වෙත … එළඹීයෙමි යි දනිමි. එහි දීත් මා හුන්විරූ ද කථාකළවිරූ ද සාකච්ඡා කළවිරූ ද වෙයි. ශාරිපුත්‍රය, එපිරිස්හි මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂෙමයට පැමිණියෙම්, නිර්භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

31. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය තමාට වැටහුනු සේ ධර්‍මය දේශනා කෙරේය” යි කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන ඇර සිටුවූවකු සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් තෙමේ ඉහාත්මයේ දී ම යම්සේ (මාර්‍ගයට අනතුරුව ඵලය මෙන්) අර්‍හත්‍වයට පැමිණියේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටි හේ) ගෙන එන ලද්දක් බහා තබන්නා සේ (චුතියට අනතුරුව පතිසන්‍ධිය මෙන්) නරකයෙහි උපදිනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

32. ශාරිපුත්‍රය, මේ යොනීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: අණ්ඩජයෝනිය, ජලාබුජයෝනිය, සංසෙදජයෝනිය, ඔපපාතිකයෝනිය යි. ශාරිපුත්‍රය, අණ්ඩජයෝනිය කවරේ ය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් බිජුවට බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ අණ්ඩජයෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ජලාබුජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් වස්තිකොෂය බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ ජලාබුජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, සංසෙදජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් දුඟද මසෙහි හෝ උපදිත් ද, දුඟද සිරුරෙහි හෝ දුඟද කොමුයෙහි හෝ මොළෙහි (=අපවිත්‍ර දේ ගලාබස්නා තැන) හෝ ගම්දොර ගවරවළෙහි හෝ උපදිත් ද, ශාරිපුත්‍රය, මේ සංසෙදජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ඕපපාතික යෝනිය කවරය? දෙවියෝ ය, නෙරයික සත්ත්‍වයෝ ය, ඇතැම් මනුෂ්‍යයෝ ය, ඇතැම් වෛමානිකයෝය. ශාරිපුත්‍රය, මේ ඕපපාතික යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, මේ වනාහි සතර යොනීහු ය.

33. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණගෞතම තෙමේ තර්‍කය හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්හත් බවට පැමිණේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ ය යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

34. ශාරිපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසෙක් ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතවිෂය ය, මනුෂ්‍යයෝ ය, දෙවියෝ ය. ශාරිපුත්‍රය, මම නිරයත් නිරයගාමී මාර්‍ගයත් නිරයගාමී ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකෙහි පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම තිරිසන් යෝනිය ද තිරිසන් යෝනියට යන මාර්‍ගය ද තිරිසන් යෝනියට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම ප්‍රේතවිෂය ද ප්‍රේතවිෂයයට යන මාර්‍ගය ද ප්‍රේතවිෂයයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම මනුෂ්‍යයනුත් මනුෂ්‍යලොකයට යන මාර්‍ගයත් මනුෂ්‍යලොකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම දෙවියන් ද දෙවලොකයට යන මාර්‍ගයත් දෙවලොකයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සුගති නම් ස්වර්‍ගලොකයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම ගතිනිස්සරණය වූ නිවන ද නිවනට යන මාර්‍ගය ද නිවනට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් නිරාස්‍රව වූ චෙතොවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, එය ද දනිමි.

35. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක මිනිසැස ඉක්ම පිරිසිදු වූ දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වේදනා විඳින ඒ මේ පුද්ගලයා දකිමි. ශාරිපුත්‍රය, පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති ගිනි අඟුරෙන් පිරුණු පුරුෂ ප්‍රමාණයට අධික වූ අඟුරුවළෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඒ අඟුරුවල ම උදෙසා ඊට ම වැටී තිබෙන එක ම මගින් එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අඟුරු වලට ම එන්නේ ද, එසේ මේ පින්වත් පුරුෂ තෙමේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේ ය. පසු කාලයෙහි ඒ අඟුරුවළට වැටුණු ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේ ය. ශාරිපුත්‍රය, මම එපරිද්දෙන් ම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම් සේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් එකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.

36. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, පුරුෂප්‍රමාණයට අධික වූ අසූචියෙන් පිරුණු අසූචිවළෙක්‌ යම්සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එක ම මගින් එ ම අසූචි වළ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අසූචිවළට එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය” යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ අසූචිවළෙහි වැටුණු දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කළෙක කාබුන් මරණින් මතු තිරිසන්යොනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.

37. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, විෂමභූමියෙක හටගත් තුනී කොළ පත් ඇති විරල සෙවණ ඇති රුකෙක්‌ යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුකම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ යැ”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ දුක් බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කළෙක කාබුන් මරණින් මතු ප්‍රෙතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.

38. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, සමභූමිභාගයෙහි හටගත් බොල් කොළ පත් ඇති ගන සෙවණ ඇති රුකෙක්‌ යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුක ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ සැප බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යයි. පසු කලෙක පිරිසුදු වූ මසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.

39. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපන් ඒකාන්තයෙන් සැප වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, යම් සේ ප්‍රාසාදයෙක් වේ ද, එහි ඇතුලත පිටත අලෙවූ දුන් වැළහු වා ඇති පැහැසු අගුළු ඇති, යෙදු වාකවුළු ඇති කුළුගෙයක් වන්නේ ද, එහි අතුළ කොඳු පලස් ඇති අතුල සුදු එළුලොම් පලස් ඇති අතුල ඝනපුප් එළුලොම් පලස් ඇති අතුළ කෙහෙල්මුව සමින් කල උතුම් පසතුරුණු ඇති බැඳි රතු උඩුවියන් ඇති දෙපස තැබූ ලේවන් කන්වයින් ඇති පලඟෙක් වන්නේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ ප්‍රාසාදයම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ ප්‍රසාදය කරා එන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී යේ යැ”යි මෙසේ කියන්නේ ද, පසු කලෙක ඒ ප්‍රාසාදයෙහි ඒ කුළුගෙයි ඒ පලඟෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්තයෙන් සැප වේදනා විඳින ඒ මොහු දකී ද. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක පිරිසුදු වූ මිනිසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලොකයෙහි උපන් ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි.

40. ශාරිපුත්‍රය, මම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, පහන් දිය ඇති මිහිරි දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා ව පිහිටි තොට ඇති සිත්කලු පොකුණෙක් යම සේ වේ ද, එයට නුදුරෙහි ඝන වන ලැහැබක් වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම යන එකම මගින් ඒ පොකුණ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙම යම් සේ මේ පොකුණ කරා එන්නේ ද, එසේ පිළිපැන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේය. පසු කලෙක ඒ පොකුණට බැස ස්නානය කොට පැන් බී සියලු වෙහෙස විඩා දැවිලි සන්හිඳුවා ඉන් ගොඩ නැගී ඒ වන ලැහැබෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දක්නේ ද, ශාරිපුත්‍රය, එසේම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි. පසු කලෙක ආස්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයේ දී ම විශිෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය,මේ පස් ගතීහු යි.

41. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මිනිස් දහමින් වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ‍ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍ක හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම අර්හත්වයට යම්සේ පැමිණෙන්නේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙන එන ලද්දක් තබන්නා සේ නිරයෙහි උපදනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

42. ශාරිපුත්‍රය, මම අඞ්‍ග සතරෙකින් යුක්ත වූ බඹසර හෙවත් වීර්‍ය්‍යය කෙළෙමි යි දනිමි: තපස් ඇත්තෙම් තපස් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. රළු පිළිවෙත් ඇත්තෙම් රළු පිළිවෙත් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. පාපයට පිළිකුල් කරන්නෙම් පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් උතුම් වෙමි. ප්‍රකර්‍ෂවිවෙක ඇත්තෙම් ප්‍රකර්‍ෂවිවෙක ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි.

43. ශාරිපුත්‍රය, (මේ මතු පැවසෙන අචෙලකත්‍වාදිය) මාගේ තපස් බව වෙයි: නග්න වුයෙම් හල ශිෂ්ටකුලාචාර ඇත්තෙම් අත ලොවින්නෙම් නොහොත් මල පහ කොට අතින් පිස දමන්නෙම් වෙමි. ආහාර ගැනීම සඳහා එන්න වහන්සැ යි, සිටින්න වහන්සැ යි කියන ලද්ද නො පිළිගන්නෙමි. පළමු ගොට ගෙනෙන ලද්ද උදෙසා කරන ලද්ද නිමැතූ භික්‍ෂාව ද නො ඉවසමි. ඒ මම කළමුවින් නගා දෙන දෙය නොපිළිගනිමි. සැළිමුවින් නඟා දෙන දෙය, එළිපත අතර කොට සිට දෙන දෙය, දණ්ඩක් අතර කොට සිට දෙන දෙය, මොහොලක් අතර කොට සිට දෙන දෙය, අනුභව කරන්නවුන් දෙදෙනකුන්ගෙන් එකකු අවුත් දෙන දෙය, ගැබිණිය විසින් දෙන දෙය, කිරි පොවන්නිය විසින් දෙන දෙය, නොපිළිගනිමි. පුරුෂයා වෙත ගිය තැනැත්තිය විසින් දෙන දෙය, සම්මාදම් කළ දෙයින් දෙන දෙය, යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියේ නම්, ඔහුට නො දී දෙන දෙය යම් තැනෙක මැස්සෝ කැටි කැටි ව හැසිරෙත් ද එහිදී දෙන දෙය නොපිළිගනිමි. දියමස් නො වළඳමි. ගොඩමස් නො වළඳමි. සුරා නො බොමි. පුෂ්පාසවය නො බොමි. ලොණසොවීකරය (= සියලු සස්‍යාදිය පල්කොට ගත් කාඩිදිය) නො බොමි.

මම පිඬු පිණිස එක ම ගෙයක් පමණ කොට ගත්තෙම් වෙමි. එක ම පිඬෙකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් දෙකක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු දෙකකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් සතක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු සතකින් යැපෙන්නෙම් වෙමි. එක් කුඩා බත්තැටියකින් බත්තැටි දෙකෙකින් බත්තැටි සතෙකින් ද යැපෙමි. දවසකට වරක් දෙදවසකට වරක් සත් දවසකට වරක් ආහාර ගනිමි. මෙසේ මෙලෙසින් අඩමසකට වරක් දැයි වාර වශයෙන් බත් බුදීමෙහි යෙදුනෙම් වාසය කරමි.

ඒ මම අමු පලා බුදින්නෙම් හෝ වෙමි. බඩහමු බුදින්නෙම් හෝ වෙමි. ඌරුහැල් බුදින්නෙම් හෝ කපා හළ සම් කසට බුදින්නෙම් හෝ වෙමි. දඹු බත් බුදින්නෙම් හෝ වෙමි. මුරුවට බුදින්නෙම් හෝ වෙමි. තණකොළ බුදින්නෙම් හෝ වෙමි. ගොම බුදින්නෙම් හෝ වෙමි. වනමුල් පල අහාර කොට ඇත්තෙම් ස්වයංපතිත ඵල බුදින්නෙම් හෝ යැපෙමි.

ඒ මම හණ වැහැරිත් දරමි. නන්වැදෑරුම් හූ මුසු කොට වියූ පිළීත් මිනී එතූ පිළීත් දරමි. පවුල් පිළීත් දරමි. රුක්පතුරෙන් කළ පිළී ද දරමි. අඳුන්දිවිසම් ද දරමි. මැදින් පැළුෑ කුර සහිත අඳුන්මුවසම් ද දරමි. කුසතණවැහැරි ද දරමි. නියදවැහැරි ද දරමි. පුවරුවැහැරි ද දරමි. කෙස්වලින් කළ කම්බිලි ද දරමි. අස්ලොමින් කළ කම්බිලි ද දරමි. බකමුහුණු පියාපතින් කළ වැහැරි ද දරමි.

ඒ මම කෙස් රවුලු ඉදිරීම නමැති අනුයොගයෙහි නැවත නැවත යෙදුනෙම් කෙසමස‍සුලොවක වෙමි. අසුන් පිලිකෙවු කෙළෙමි. උඩුකුරු ව සිටින්නෙම් ද වෙමි. උළුලුයෙන් හිඳීම නමැති උත‍කුටික වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් උත්කුටුකයෙන් සිටින්නෙම් ද වෙමි. කටුඇතිරියෙහි සක්මන් ආදිය කරන්නෙම් කටු සවි කළ වැතිරෙණ පුවරුවෙහි ශයනය කරමි. සවස තුන්වැනි කොට දියට බැසීම නමැති අනුයොගයෙහි යෙදුනෙම් වාසය කරමි.

මෙසේ මෙබඳු නන්වැදෑරුම් සිරුර තැවීමෙහි පෙළීමෙහි හාත්පසින් තැවීමෙහි එක්වන් යෙදුනෙම් වෙසෙමි. ශාරිපුත්‍රය, මේ මාගේ තපස්බව වෙයි.

44. ශාරිපුත්‍රය, එහි මේ මාගේ රළුබව වෙයි: නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලෙහි හටගත් රජස්දැලි සිරුරෙහි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, නොයෙක් අවුරුදු ගණන් වයසැති හටගත් පතුරු ඇති මහත් වූ තිඹිරි කණුවෙක් යම්සේ වේ ද, ශාරිපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ සිරුරෙහි නොයෙක් අවුරුදු ගණන් වයසැති රජස්දැලි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, එ මට මෙබඳු අදහසෙක් නො වෙයි: “මම මේ රජස් දැලි අතින් පිරිමදින්නෙම් නම් හෝ යෙහෙකැ” යි මෙසේත් මට අදහස් නො වෙයි. ශාරිපුත්‍රය, මේ මාගේ රළු පිළිවෙත වෙයි.

45. ශාරිපුත්‍රය, එහි මේ මාගේ පවට පිළිකුල් බව වෙයි: ශාරිපුත්‍රය, කුඩාපණුවන් (නොමරම්වා යි) ඒ මම සිහි ඇත්තෙම් ම ඉදිරියට යමි. සිහි ඇත්තෙම් ම පෙරළා එමි. “මේ විෂමස්ථාන ගත වූ කුඩාදිය බිඳුය යි කියන ප්‍රාණීන් විනාශයට නො පමුණුවම්වා” යි දියබිඳුවෙහි පවා දයාව එළඹ සිටියා වේ. ශාරිපුත්‍රය, මේ මාගේ පවට පිළිකුල් කරණ බව වෙයි.

46. ශාරිපුත්‍රය, එහි මේ මාගේ ප්‍රකෘෂ්ටවිවෙකය වෙයි: ශාරිපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම කලෙක ගොපාලයකු පසුපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු හෝ දකිම් ද, එකල මම (සිටි) වනයෙන් (අන්) වනයකට (සිටි) ලැහැබින් (අන්) ලැහැබකට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යමි. කවර හෙයින යත්: ඔහු මා නො දකිත්වා, මම ද ඔවුන් නො දකිම්වා යි යන අදහසිනි. ශාරිපුත්‍රය, වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යම්සේ යේ ද, ශාරිපුත්‍රය, මමත් එපරිද්දෙන් ම යම් කලෙක ගොපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු දැකීම ම් ද, එකල මම වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි තැනින් මිටි තැනට උස් තැනින් උස් තැනට යමි. එය කවර හෙයින? යත්: ඔහු මා නො දකිත්වා, මමත් ඔවුන් නො දකිම්වා යන අදහසිනි. ශාරිපුත්‍රය, මේ මාගේ ප්‍රකෘෂ්ටවිවෙකය වෙයි.

47. [ශාරිපුත්‍රය, එහි මේ මාගේ මහාවිකට භොජනය වෙයි.] ශාරිපුත්‍රය, ඒ මම පිටත්ව ගිය ගෙරින් ඇති පහව ගිය ගොපල්ලන් ඇති යම් ඒ ගොවුදු වේ ද, එහි දෙදණ දෙවැළමිට බිම තබුවෙක් ව එළඹ දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන වසු පැටවුන්ගේ යම් ඒ ගොම වේ ද, ඒ ගොම අනුභව කරමි. ශාරිපුත්‍රය, යම්තාක් මාගේ ස්වකීය මලමුත්‍ර හීන නො වූයේ ද, ඒ තාක් ස්වකීය මලමුත්‍ර අනුභව කරමි. ශාරිපුත්‍රය, මේ මාගේ මහාවිකට භොජනය වෙයි.

48. ශාරිපුත්‍රය, ඒ මම එක්තරා බිහිසුණු වනලැහැබකට වැද වාසය කරමි. ශාරිපුත්‍රය, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ (මතු පැවසෙන) භීෂණ භාවය වෙයි: යම් කිසි අවීතරාගියෙක් ඒ වනලැහැබට පිවිසේ නම්, බොහෝ සෙයින් ලොමුදහ ගනී. ශාරිපුත්‍රය, ඒ මම නවම් මැදින් දෙමස අතර අටදවසෙහි වූ හිම වැටෙන කාලයෙහි හේමන්ත ඍතුවට අයත් සීත වූ යම් ඒ රාත්‍රීහු වෙත් ද, එබඳු රාත්‍රීන්හි මුළු රැයෙහි එළිමහනෙහි වෙසෙමි. දවල් වනලැහැබෙහි වෙසෙමි. ග්‍රීෂ්ම සමයෙහි පැසුළු මාසයෙහි දවල් එළිමහනෙහි වෙසෙමි. රාත්‍රියෙහි වනලැහැබෙහි වෙසෙමි. ශාරිපුත්‍රය, තව ද මට පෙර නොඇසූ විරූ මතු මතු ආශ්චර්‍ය්‍යය උපදවන මේ ගාථාව වැටහිණි:

“ශුද්ධිය සෙවීමෙහි යෙදුණු මුනි වූ මම ග්‍රීෂ්මයෙන් අතිශයින් තැවුණෙම් හිමයෙන් ඉතා තෙත් වුයෙම් බිහිසුණු වූ වනයෙහි එකලා වුයෙම් නග්න වුයෙම් ද ගින්න වෙත නො එළඹීමි.”

49. ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනීඇට කන්වයින් කොට ගෙන ශයනය කරමි. ශාරිපුත්‍රය, එකල මා වෙතට ගොපලුදරුවෝ පැමිණ (මා මත්තෙහි) කෙළ ද ඔවිත්. මුත්‍ර ද කරත්. පස් ද විසුරු වත්. කන්සිදුරුවල ඉරටු ද ගසත්. ශාරිපුත්‍රය, මම ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූයෙමැ යි නො දනිමි. ශාරිපුත්‍රය, මෙය මාගේ උපේක්ෂා විහරණය වේ.

50. ශාරිපුත්‍රය, ආහාරයෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියන්නා වූ මෙසේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. ඔහු ඩෙබරවලින් යැපෙන්නෙමු යි මෙසේ කියත්. ඔහු ඩෙබරපල ද කත්. ඩෙබරසුණු ද කත්. ඩෙබර මැඩගත් දිය ද බොත්. නන් වැදෑරුම් වූ ඩෙබරින් කළ ආහාර ද අනුභව කරත්. තවද, ශාරිපුත්‍රය, මම එකම ඩෙබරපලයක්‌ ආහාර වශයෙන් ගත්තෙක්මි යි දනිම් ම ය. ශාරිපුත්‍රය, ඒකාන්තයෙන් එසමයෙහි ඩෙබරපල මහත් වූයේ දෝ යි, ඔබට මෙබඳු අදහසෙක් විය හැකි ය. ශාරිපුත්‍රය, මෙය එසේ නො දතයුතු යි. එකල්හි ද ඩෙබරපල මෙකල යම් පමණ මහත් නම් එපමණ ම වූයේ ය. ශාරිපුත්‍රය, එකම ඩෙබරපලයක්‌ ආහාර කොට ගන්නා වූ ඒ මාගේ කය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරයෙන් මාගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ ද එ බඳු ම වෙත්. ඔටුපිය යම් සේ වේ ද, මාගේ නිසීදනමාංසය ද් ඒ අල්පාහාර භාවයෙන් එ බඳු ම වෙයි. වට්ටනාවළිය (කුරුඳු වැළය) යම් සේ වේ ද, මාගේ වසට (=කොඳුඇටය) ඒ අල්පාහාර භාව‍යෙන් එබඳු`උස් පහත් වූයේ වෙයි. දිරූ ශාලාවෙක ගොනැස්හු යම්සේ උඩුයටි ව නමුනාහු වෙත් ද, එපරිද්දෙන් මාගේ ඉළ ඇට ඒ නිරාහාරභාවයෙන් ම උඩුයටි ව නැමී ගියාහු වෙත්. ගැඹුරු ළිඳෙක උදක තාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එපරිද්දෙන් ම මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාව‍යෙන් ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලබුවක් අමු කල සිඳිනා ලද්දේ අවු සුළඟින් පැළී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එපරිද්දෙන් ම මාගේ මේ හිසෙහි සිවිය ඒ අල්පාහාරභාව‍යෙන් ම පැළී ගියේ මැලවී ගියේ වෙයි.

51. ශාරිපුත්‍රය, ඒ මම උදරසිවිය පිරිමදින්නෙමි යි පිටකටුව ම අල්ලා ගනිමි. පිටකටුව පිරිමදින්නෙමි යි උදරසිවිය ම අල්ලා ගනිමි. ශාරිපුත්‍රය, ඒ අල්පාහාරභාව‍යෙන් ම උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි එහි ම යටිහුරු ව වැටෙමි. ඒ අල්පාහාරභාව‍යෙනි. ශාරිපුත්‍රය, මම ඒ සිරුර අස්වසන්නෙම් සිරුරුඅවයව අතින් පිරිමදිමි. ශාරිපුත්‍රය, අතින් අවයව පිරිමදින ඒ මාගේ සිරුරෙන් දිරූ මුල් ඇති ලොමයෝ ගිලිහී වැටෙත්. ඒ අල‍පාහාර භාව‍යෙනි

52. ශාරිපුත්‍රය, ‘ආහාරයෙන් ශුද්ධිය වෙති’යි මෙසේ වාද ඇති මෙබඳු ලබ්ධි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. ඔහු ‘මුඟුවෙන් යැපෙමු’ යි … ‘තලයෙන් යැපෙමු’ යි … ‘සහලෙන් යැපෙමු’ යි මෙසේ කීහ. ඔහු සහල් ද කත්. සහල්සුණු ද කත්. හාල්පානුදු බොත්. සහලින් කළ නන්වැදෑරුම් දැය ද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම එකම සහල්ඇටයක් ආහාර කොට ගත්තේමි යි දනිමි. ශාරිපුත්‍රය, තොපට ‘ඒ කාලයෙහි සහල්ඇටය මහත් විය හැකි ය’ යි මෙබඳු අදහසෙක් විය හැකිය. ශාරිපුත්‍රය, එය එසේ නො දතයුතු යි. මෙකල යම් සේ ද එකල්හි දු සහල්ඇටය මෙපමණ ම විය.

53. ශාරිපුත්‍රය, සහල්ඇටයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ ශරීරය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ශරීරාවයවයෝ එසේ වෙත්. ඔටුපිය යම්සේ වේ නම් ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ආනිසදය – හිද්ම ද එසේ වෙයි. ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ වසටද වට්ටනාවළිය (වටඇටවැළ) යම්සේ නම් එසේ උස්පහත් වුයේ වෙයි. දිරූ ශාලාවක ගොනැස්හු යම්සේ උඩුයටි ව නැමුණාහු වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ඉළඇට ද එසේ උඩුයටිව නැමුණාහු වෙත්. ගැඹුරු ළිඳක උදකතාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුලට පිවිසියාහු යම්සේ පැනෙත් ද, එසේ මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාවයෙන් ම ගැඹුරට ගියාහු ඇතුලට පිවිසියාහු දක්නා ලැබෙත්. යම්සේ තිත්ත ලබුවක් අමුවෙන් සිඳින ලද්දේ අවුසුළඟින් හැකිළී ගියේ මැලවී ගියේ වේ ද, එසේ ඒ අල්පාහාරභාවයෙන් මාගේ හිසෙහි සිවිය හැකිළී ගියේ මැලවී ගියේ වෙයි. ශාරිපුත්‍රය, මම උදර සිවිය පිරිමදින්නෙමියි පිටකටුව ම පිරිමැද ගනිමි. පිටකටුව පිරිමදිමියි උදර සිවිය ම පිරිමැද ගනිමි. ඒ අල්පාහාරභාවයෙන් උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි ඒ අල්පාහාරභාවයෙන් එහි ම යටි හුරු ව වැටෙමි. ශාරිපුත්‍රය, මම එම ශරීරය අස් වසන්නෙම් අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, ඒ අතින් ශරීරාවයව පිරිමදිමන මාගේ සිරුරෙන් ඒ අල්පාහාරභාවයෙන් ම දිරූ මුල් ඇති ලොමයෝ ගිළිහී වැටෙත්.

54. ශාරිපුත්‍රය, මම ඒ ඉරියව්වෙන් ද ඒ පිළිවෙතින් ද ඒ දුෂ්කර ක්‍රියාවෙන් ද මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නො ලදිමි. ඒ කවර හෙයින යත්: යම් මේ ආර්‍ය්‍ය (මාර්‍ග) ප්‍රඥාවක් (දැන් ම විසින්) ලබන ලද ද, ආර්‍ය්‍ය වූ නීයානික වූ, ඒ පිළිපදනහුට මනා කොට දුඃඛක්‍ෂය කිරීම පිණිස පමුණුවන්නා වූ, මේ මාර්‍ග ප්‍රඥාව (එකල මා විසින්) නො ලබන ලදී. එහෙයිනි.

55. ශාරිපුත්‍රය, සංසාරයෙන් (භවසඞ්ක්‍රමණයෙන්) ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො සැරිසැරූ මේ භවයෙක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුදධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.

56. ශාරිපුත්‍රය, උත්පත්තියෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නූපන්විරූ මේ උත්පත්තියක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මේ ලෝකයට නො පැමිණෙන්නෙමි.

57. ශාරිපුත්‍රය, (බොහෝ භවයන්හි) විසීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො විසූ විරූ ආවාසයෙක් සුලභරූප නො වේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව් ලොවෙහි විසුයෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.

58. ශාරිපුත්‍රය, යාගයෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො යැපු විරූ මේ යාගයෙක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.

59. ශාරිපුත්‍රය, ගිනි පීදීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො පිදූ විරූ ගින්නක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.

60. ශාරිපුත්‍රය, “යම් තාක් කල් මේ පින්වත් පුරුෂ තෙමේ තරුණ වූයේ මනා කළුකෙස් ඇත්තේ ප්‍රථම වයස වූ යොවුන් බැවින් යුක්ත වූයේ දහර වූයේ වේ ද, එ තාක් කල් උතුම් වූ ප්‍රඥාව් පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ වෙයි. යම් තැනෙක පටන් මේ පින්වත් පුරුෂ තෙමේ දිරුණේ වෘද්ධ වූයේ මහලු වූයේ බොහෝ කල් ඉක්ම වූයේ පැසුළුවයසට පැමිණියේ උත්පත්තියෙන් අසූවයස් ඇත්තේ හෝ අනූවයස් ඇත්තේ හෝ සියවස් ඇත්තේ හෝ වේ ද, එකල්හි ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් පිරිහේ” යැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ කාරණය මෙසේ නො දත යුතු යි. ශාරිපුත්‍රය, මම දැන් ජරාවෙන් ජීර්ණයෙමි. වැඩී සිටියෙමි. මහලු වෙමි. බොහෝකල් ඉක්ම වූයෙමි. පැසුළුවයසට පැමිණියෙමි. මාහට දැන් අසූ හැවිරිදි වියෙක් පවතී.

61. ශාරිපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි සියක් අවුරුදු ආයු ඇති සියක් අවුරුදු ජීවත් වන, (පද සියදහසකුදු එකවර ඇසූ පමණින් ඉගෙනීමට සමර්‍ත්‍ථ) උතුම් ඥාණ ගතියෙන් ද, (උගත් දෙය දරා පවත්වා දැරීමට සමර්‍ත්‍ථ) සිහියෙන් ද, (දැරූ දෙය වණ පොත් කොට දැරීමට සමර්‍ත්‍ථ) ධෘතියෙන් ද, උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් ද යුක්ත වූ ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත් ද, ශාරිපුත්‍රය, උගත් සිප් ඇති, කෘතහස්ත වූ, (රාජකුලාදියෙහි) දැක්වූ ශිල්ප ඇති දැඩි දුන්නක් ගෙන සිටි දුනුවායෙක් සැහැල්ලු ඊයකින් නිදුකින් ම තල්සෙය සරස යම්සේ ඉක්මවන්නේ ද, මෙසේ අධිකමාත්‍ර ස්මෘති ඇත්තාවූ මෙසේ අධිකමාත්‍ර ගති ඇත්තා වූ මෙසේ අධිකමාත්‍ර ධෘති ඇත්තා වූ මෙසේ උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූ ඒ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන්ගෙන් එකිනෙක ගෙන මා අතින් ප්‍රශ්න විචාරන්නාහු නම් විචාළ විචාළ ප්‍රශ්නය මම ඔවුන්ට‍ විසඳන්නෙමි. මා විසින් විසඳන ලද්ද විසඳූ සේ ඔහු දරන්නාහුය. මත්තෙහි දෙවෙනි ප්‍රශ්නයක් මා නොපිළිවිස්නාහුය. කන බොන රස විඳින කාලය තබා මල මූ පහ කරන කාලය තබා නිදීම් විඩා හැරීම් දුරු කරන කාලය තබා (සෙසු හැම කල්හි ඔහු ප්‍රශ්න විචාරත්ද), ශාරිපුත්‍රය, තථාගතයන්ගේ ධර්‍මදේශනාව පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ පාළිය පිලිබඳ පද හා අක්‍ෂර පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ ප්‍රශ්න විසඳීම පරික්‍ෂීණ නො වේමය. එසේ වත්ම, අවුරුදු සීයක් ආයු ඇති අවුරුදු සීයක් ජීවත් වනසුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතර දෙන අවුරුදු සීය ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය. ශාරිපුත්‍රය, ඉදින් මා ඇඳක තබා ගෙන පරිහරණය කරන්නාහු නමුදු තථාගතයන්ගේ ප්‍රඥාව පිලිබඳ ව්‍යක්තභාවයෙහි වෙනසක් නො ම ඇත.

62. ශාරිපුත්‍රය, මනා කොට (සැබෑ) කියන්නෙක් “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බො‍හෝ දෙනාට හිත පිණිස බො‍හෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, සුව පිණිස උපන්නේය,” යි යමකු උදෙසා කියන්නේ නම්, මනා කොට කියන හේ “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බො‍හෝ දෙනාට වැඩ පිණිස, බො‍හෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස උපන” යන වචනය මා උදෙසා ම කියන්නේ ය.

63. එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගසමාල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසැ සිටියේ වෙයි. එකල්හි නාගසමාල ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය. වහන්ස ආශ‍චර්‍ය්‍යය, වහන්ස අද්භූතය. තව ද වහන්ස, මේ ධර්‍මක්‍රමය අසා මාගේ ලොමයෝ දහ ගත්හ. වහන්ස මේ කිනම් ධර්‍මක්‍රමයෙක් ද? නාගසමාල, එසේ නම තෙපි මේ ධර්‍මපර්යාය ලොමහංසනපරියාය යි කියා ම දරව යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් නාගසමාල තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තේය.

මහාසීහනාද සූත්‍රය දෙවැනියි.

පිටු අංක 164 සිට 198 දක්වා

Blog at WordPress.com.

Up ↑